IMF බදු ඉලක්ක සපුරාලීමට රජය අසමත් වෙයි. ලබන වසරේ සිට වැට් බද්ද 18% ක් දක්වා ඉහළට. වැට් අදාළ නොවන භාණ්ඩවලටත් බදු

    October, 31, 2023

    ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ

    ණය තිරසරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම 51%කින් ඉහළ ගොස් තිබේ.

    එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

    ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වනු පිණිස දැනට ක්‍රියාත්මකව පවතින එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා වැඩි කිරීමටත්, දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024-01-01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.