2023 වසරේ ශ්‍රී ලංකාවේ ගෝලීය ආධුනික ව්‍යවසායකත්ව සම්මාන සඳහා  අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි 

    November, 9, 2023

    ආධුනික ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් වන කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයක්  වන 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන උළෙල' 2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා සියලු ම කටයුතු සූදානම් කර තිබේ. GSEA Global සහයෝගය මත ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන    'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන උළෙල' ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනු ලබන්නේ ඩේවිඩ් පීරිස් සමූහය විසිනි.  ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා උපදේශනය, පිළිගැනීම මෙන් ම ව්‍යාපාරික ලෝකය තුළ සබඳතා ගොඩනංවා ගැනීමේ හැකියාව ආදී වශයෙන් ප්‍රතිලාභ රැසක් ලබා දෙන, 2023 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' සඳහා තරඟ කිරීමට එක් වන ලෙස සංවිධායක මඬුල්ල ශ්‍රී ලාංකේය ආධුනික ව්‍යවසායකයින් වෙත ආරාධනය කර සිටී.

    'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' සඳහා ඉල්ලුම් කරන අපේක්ෂකයින් පළමු ව (Entrepreneurs Organisation Global) ඩේවිඩ් පීරිස් සමූහය ප්‍රකාශයට පත් කර ඇති (https://gsea.org)  සුදුසුකම් ලේඛනය සම්පූර්ණ කළ යුතු ය. අයදුම්කරුවන් සිය සුදුසුකම් තහවුරු කළ පසු, ඔවුන් අවශ්‍ය නිර්ණායක සපුරාලන්නේ නම්  පමණක් GSEA නිල වෙබ් අඩවිය (https://gsea.org) වෙත පිවිස ඔවුන්ගේ අයදුම්පත් පිරවිය හැකි ය.  අයදුම්පත් යොමු කර  අවසන් වූ පසු, 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' තරඟාවලියේ වැඩිදුර ඇගයීම කටයුතු ආරම්භ වේ. අයදුම්පත් භාර ගැනීම 2023 නොවැම්බර් 30 වන දින (මධ්‍යම රාත්‍රී 12) අවසන් වේ.

    මේ සඳහා ඉදිරිපත් වීමට උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට, ShakilaK@dpmco.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන් හෝ +94 74 090 6590 දුරකථන අංකයෙන් දේවිඩ් පීරිස් සමූහයේ ශාලිකා ඇමතීමෙන් හෝ  asst_admin@eosrilanka.org විද්‍යුත් තැපැල් ලිපිනයෙන්  හෝ +94 76 477 703 දුරකථන අංකයෙන් ව්‍යවසායකයන්ගේ සංවිධානයේ රෙසෝන් ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි ය.

    2023 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' උළෙලේ අවසාන මහා තරඟය  2024 ජනවාරි 29 වන දින පැවැත්වීමට නියමිත අතර, එහි දී වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා දෙමින් ආධුනික ව්‍යවසායකයින් දිරිමත් කිරීමට කටයුතු කරයි.

    ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2023 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' ව්‍යාපෘතියේ  සභාපති එශාන් පීරිස්  මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් පැවසුවේ, "ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' යනු අපගේ මීළඟ  පරම්පරාවේ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා උපදේශනය සහ සහයෝගය ලබා දෙන සුවිශේෂී වැඩසටහනක්. මේ හරහා ව්‍යාපාරික ලෝකය තුළ සබඳතා ගොඩ නංවා ගැනීමට සහ ව්‍යාපාරික දැනුම ඉහළ නංවා ගැනීමට අපගේ තරුණ ව්‍යවසායකයින්ට අවස්ථාව ලැබෙනවා. ලෝකයේ කීර්තිමත් ආධුනික ව්‍යවසායකයින් සමඟ තරඟ කිරීමට වගේ ම  GSEA Global Finals සඳහා ඉදිරිපත් වීමේ හැකියාවත් මෙම තරඟය සඳහා ඉදිරිපත් වන තරඟකරුවන් වෙත ලැබෙන බව සඳහන් කළ යුතු ම යි. " යනුවෙනි.

    2023 'ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන' මගින් මෙරට ආධුනික ව්‍යවසායකයින්ට සාර්ථකත්වය වෙත ඉතා ඉක්මණින් ළඟා වීම සඳහා උත්තේජනයක් සපයයි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.gsea.org වෙත පිවිසෙන්න.