November, 14, 2023
ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය අංශයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් සිය නවතම ශාඛාව අම්පාර කෙත්සිරිගම ප්‍රදේශයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මෙම නව ශාඛාව විවෘත කිරීම, මෙරට ග්‍රාමීය ජනතාව සවි බල ගැන්වීම මෙන් ම ඔවුන්ට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ කැපවීම සඳහා උදාහරණ සපයයි. එමෙන් ම දිවයින පුරා තවත් ශාඛා 7 ක් විවෘත කිරීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.
අම්පාර නගරයේ සිට කිලෝමීටර් 30 ක් දුරින් පිහිටා ඇති කෙත්සිරිගම, ග්‍රාමීය දිවිපෙවෙත සුපෝෂණය කරන සශ්‍රීක කෙත් වතුවලින් සමන්විත මනරම් ගම්මානයකි. ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සහ දිගු කාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, සිය කෙත්සිරිගම නව ශාඛාව හරහා සියලු දෙනාට ම ඉහළ ප්‍රතිලාභ සහිත මූල්‍ය සේවා රැසක් ලබා දෙයි.
මෙහි දී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ සභාපති චන්න ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ අපගේ ශාඛා ව්‍යාප්ත කිරීම මගින් ග්‍රාමීය සංවර්ධනය සහ ග්‍රාමීය ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරනවා. මූල්‍ය ශක්‍යතාවේ ඇති පරිවර්තනීය බලය ගැන අපි විශ්වාස කරනවා. ඒ වගේ ම මූල්‍ය අවශ්‍යතා සහිත කණ්ඩායම් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම හරහා ඔවුන්ගේ ජීවිත ධනාත්මක ලෙස බල ගැන්වීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ වර්ධනය මූර්තිමත් කරමින් විවෘත කෙරුණු කෙත්සිරිගම ශාඛාව, ප්‍රජා සංවර්ධනය සඳහා දිගු කාලීන ආයෝජන, මූල්‍ය සේවා සඳහා වඩාත් පහසු ප්‍රවේශය සහ පාරිසරික, සාමාජීය හා පාලන (ESG) වැඩසටහන් වෙනුවෙන් කැපවීම වැනි මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වේ.
දිගු කාලීන ඉදිරි දර්ශනයක් සහිත ව ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කැපවීමට අරමුණු කරන කෙත්සිරිගම ශාඛාව, ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංවිධානයේ සාමූහික අරමුණු පෝෂණය කරමින් ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශයේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම තුළින් දේශීය විරැකියාවට යම් විසඳුමක් ලබා දීම සඳහා යම් ආදර්ශයක් ලබා දී ඇති බව ද පැවසිය යුතු ම ය.
සාමාන්‍ය මූල්‍යකරණයෙන් ඔබ්බට යමින් සිය කෙත්සිරිගම ශාඛාව හරහා අදාළ ගම්වාසීන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ATM පහසුකම්, Pay&Go ගෙවීම් සේවාව, Western Union විදෙස් මුදල් මාරු කිරීමේ සේවාව, සහ බිල්පත් ගෙවීමේ හැකියාව වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු මූල්‍ය සේවා රැසක් ලබා දෙයි. මෙම නව ශාඛාව විවෘත කිරීම හේතුවෙන් අදාළ ප්‍රදේශය හා ඒ අවට ගනුදෙනුකරුවන්ට ප්‍රවාහන වියදම් වශයෙන් වැය වන විශාල මුදලක් මෙන් ම වටිනා කාලය ද ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබෙන අතර, අදාළ ගනුදෙනු කරුවන් තුළ ඉතුරුම් සංස්කෘතියක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ මූල්‍ය ආයෝජන සුරක්ෂිත කිරීමට සහ ජීවනෝපාය නංවාලීම වෙනුවෙන් මම නව ශාඛාව සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව ද පැවසිය යුතු ය.
සූර්‍ය බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාත්මක වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කෙත්සිරිගම ශාඛාව, එමඟින් සිය එදිනෙදා ක්‍රියාවලිය තුළ දී සිදු වන කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් කැප වන අතර, ප්‍රදේශයේ ‘හේන්’ වගාව සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති හඳුන්වා දීම වැනි ව්‍යාපෘති හරහා බලශක්ති සංරක්ෂණයට මෙන් ම විශිෂ්ට කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම හරහා අතිරේක ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට ද සහයෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ඒ වෙනුවෙන් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ද කටයුතු කරන අතර, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, කෙත්සිරිගම ප්‍රදේශයෙන් තෝරා ගත් ගොවීන් ඉන්දියාවට යැවීම හරහා ඔවුන්ගේ දැනුම හා දක්ෂතා ඉහළ නැංවීමට කටයුතු කිරීම ඊට හොඳ ම උදාහරණයකි.
මෙරට කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ නිෂ්පාදන ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නැංවීම සඳහා සහයෝගය දෙන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී සේවාවක් ලබා දෙන අතර, මෙරට බිම් මට්ටමේ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සහ අවම පහසුකම් සහිත ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.
Video Story