March, 15, 2016
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක්වන DHL Express සමාගම, ආසියානු පැසිෆික් කලාපය තුළ සැපයුම් දාම විසඳුම් ලබා දීමේදී ප්‍රවාහන භාණ්ඩවල සුරක්ෂිතතාව සහ සේවා මට්ටම උපරිම අයුරින් රැක ගැනීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින්, ආසියා පැසිෆික් කලාපය තුළ භාණ්ඩ ප්‍රවාහන ආරක්ෂණ පරිශ්‍ර (FSR) වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන සමාගම ලෙස ආසියානු ප්‍රවාහන වත්කම් සුරක්ෂණ සංගමයේ (TAPA) ඇගයුමට ලක් විය.
ආසියානු පැසිෆික් කලාපය තුළ TAPA "FSR" සුරක්ෂණ සහතිකයෙන් පිදුම් ලැබූ 100 වන මධ්‍යස්ථානය බීජිං නුවර පිහිටි උතුරු ආසියානු මෙහෙයුම් මධ්‍යස්ථානය වන අතර, එය චීනයේ පිහිටි පහසුකම් අතරින් TAPA "A" ශ්‍රේණියේ සහතිකයෙන් පිදුම් ලද 22වන මධ්‍යස්ථානය ද වේ.
ශ්‍රී ලංකාව තුළ ද පරිශ්‍ර දෙකක් සඳහා TAPA සහතිකය හිමි කරගෙන ඇති මෙරට එකම ලොජිස්ටික්ස් සමාගම DHL Express සමාගමයි. වොක්ෂෝල් වීදිය, කොළඹ 02 ස්ථානයේ සහ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් පර්යන්ත ගම්මානයේ පිහිටි පරිශ්‍ර දෙක එලෙස TAPA සහතිකයෙන් පිදුම් ලද පරිශ්‍ර වේ.
ලොව පිළිගත් ප්‍රමුඛතම ලොජිස්ටික්ස් ආරක්ෂණ සහතිකයක් වන TAPA සහතිකය, ක්ෂේත්‍රයේ ඇති වඩාත් තදබල ස්වාධීන සහතිකයක් ලෙස සැලකේ. TAPA පුහුණුව ලත් ස්වාධීන විගණන කරුවන් විසින් සිදු කරනු ලබන පුළුල් විගණනයකින් අනතුරුව මෙම සහතිකය නිකුත් කෙරේ. වටිනාකමින් අධික භාණ්ඩ හසුරුවනු ලබන ආකාරය, ගබඩාකරණය සහ ප්‍රවාහනය ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී අවධානයට ලක් කෙරේ.
"TAPA සහතිකයෙන් පිදුම් ලැබීමට හැකි වීම සැබවින්ම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. අපගේ පහසුකම් සහ ප්‍රවාහන මාධ්‍ය වල සුරක්ෂිතතාව මෙමගින් තවදුරටත් තහවුරු වුණා. ජාත්‍යන්තර එක්ස්ප්‍රස් සේවාවන්හි 25% කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන ආසියා පැසිෆික් කලාපය යුරෝපයට පසුව විශාලතම ජාත්‍යන්තර ලොජිස්ටික්ස් සේවා වෙළඳපල වන අතර, අප මෙහෙයවනු ලබන භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යවල පරිපූර්ණත්වය ආරක්ෂා කිරීම ඉතා වැදගත් වනවා." DHL Express සමාගමේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධාන විධායක නිලධාරී කෙන් ලී මහතා සඳහන් කළේය.
සුරක්ෂිතතාව යනු DHL Express සමාගමේ සෑම කාර්යයකදීම විශේෂ අවධානය යොමු කරන අංශයකි. සම්මානිත ගෝලීය සහතිකලත් ජාත්‍යන්තර විශේෂඥ බඳියා සහ සංවර්ධන වැඩසටහන (CIS) තුළින් DHL Express සමාගම CIS සුරක්ෂිතතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇත. ගෝලීය වශයෙන් සෑම කාර්යමණ්ඩල සාමාජිකයෙකුම සුරක්ෂිතතාව සම්බන්ධ මූලික දැනුමින් සන්නද්ධ කිරීමට මෙම මොඩියුලය ක්‍රියා කරයි.
"DHL සමාගම සිය ගෝලීය ජාලය තුළ TAPA ප්‍රමිතීන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නිබඳව කැප වී කටයුතු කරනවා. ඉහල වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති විය හැකි අවදානම් අවම කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා වන ඔවුන්ගේ දැක්ම ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම තුළින් තවදුරටත් පිළිබිඹු වනවා." TAPA Asia සභාපති ටෝනි ලුග් මහතා ප්‍රකාශ කළේය.
ගෝලීය රේගු සහ ආරක්ෂණ ප්‍රධානී මෙන්ම TAPA Asia හි අධ්‍යක්ෂ මණ්ඩල හිටපු සාමාජිකයෙකුවන ඒඩ්‍රියන් වෙලන් මහතා සඳහන් කළේ, TAPA භාණ්ඩ ප්‍රවාහන සුරක්ෂිතතා ප්‍රමිතීන් හිමි කර ගත් ප්‍රථම ලොජිස්ටික්ස් සමාගම් අතරට DHL Express සමාගම ද අයත් වන බවය. "ගෝලීය වශයෙන් පරිශ්‍ර 270 කට අධික ප්‍රමාණයක් TAPA සහතිකය හිමි කර ගෙන ඇති අතර ඒ අතරින් 100 කට අධික ප්‍රමාණයක් ආසියා පැසිෆික් කලාපයට අයත් වනවා. TAPA සහතිකලත් පරිශ්‍ර පිළිබඳ සැලකීමේදී අප ගෝලීය ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, අපගේ ගෝලීය සැපයුම් දාමයේ සුරක්ෂිතතාව වෙනුවෙන් අඛණ්ඩව ආයෝජන සිදු කිරීම ද අපගේ අරමුණයි." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Video Story