SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම ගෞරව උපාධි හිමිකරගනියි

    March, 29, 2016

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිය (BBA Special Honours) හැදෑරූ පළමු ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා පැවති උපාධි ප‍්‍රදානෝත්සවයේදී සිය උපාධි හිමිකරගත්හ. ගිණුම්කරණය හා මූල්‍ය, අලෙවි කළමනාකරණය, මානව ප‍්‍රාග්ධන කළමනාකරණය හා තොරතුරු පද්ධති කළමනාකරණය විශේෂවේදී උපාධිය හිමිකරගත් සිසුන් 56 දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුණි. SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය, දේශීය හා විදේශීය ව්‍යාපාර ප‍්‍රවණතාවන්හි වෙනස්වන ඉල්ලූමට සිය උපාධිධාරීන් හුරුකිරීම හා ඒ පිළිබඳ දැනුමින් ඔවුන්ව සන්නද්ධ කිරීමේ වැදගත්කම මනාව හඳුනාගෙන ඇත.

    ''අප ව්‍යාපාර අධ්‍යයන වැඩසටහනේ පවතින විශේෂත්වය වී තිබෙන්නේ ව්‍යාපාර මත පදනම් වූ අධ්‍යයන ආකෘතියක් අප සතු වීම හා එය සෑම සිසුවෙකුටම අනිවාර්‍යය වීමයි. එමගින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත‍්‍රයේ රැකියාවකට ඔවුන්ව පුහුණුකිරීම සිදුකෙරෙනවා. සුවිශේෂී ක්ෂේත‍්‍රයක් පිළිබඳ අධ්‍යයනය කිරීමට, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ව සම්මුඛ සාකච් ඡාවට ලක්කිරීමට හා පුළුල් වාර්තාවක් සකස් කිරීමට වෘත්තීය සංවර්ධන පාඨමාලාව මගින් සිසුන්ට හිමිකරදී තිබෙන අවස්ථාව මෙහිලා උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි.'' ව්‍යාපාර අධ්‍යයන පීඨයේ වැඩසටහන් පිළිබඳ පැහැදිලි කළ SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය චන්දන පෙරේරා මහතා පැවසුවේය.

    ''SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළ ඊටම අනන්‍ය වූ සුවිශේෂී පර්යේෂණ සංස්කෘතියක් ක‍්‍රියාත්මක වෙනවා. එබැවින් සෑම උපාධි අපේක්ෂකයකු විසින්ම පර්යේෂණ ක‍්‍රමවේද ආකෘතියක් හා පුළුල් පර්යේෂණ වාර්තාවක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. සිසුන් තුන් දෙනෙකුගේ සිට හතර දෙනෙකු දක්වා වූ සංඛ්‍යාවකින් සකස්වුණු කණ්ඩායමක් මගින් කර්මාන්ත හෝ සංකල්ප මත පදනම් වූ පර්යේෂණයකින් සොයාගත් කරුණු සම්මුඛ පරීක්ෂණයක් හා නිබන්ධයක් මගින් ඉදිරිපත් කිරීම සිදුකෙරෙනවා. සිසුන් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම තුළින් සන්නිවේදනය, කණ්ඩායමක් ලෙස සාමූහිකව කටයුතු කිරීම හා නායකත්වය වැනි සුවිශේෂී හැකියාවන් ප‍්‍රායෝගිකව යොදාගැනීමේ අවස්ථාව හිමිවෙනවා'' SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ වැඩසටහන් පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ මහාචාර්ය චන්දන පෙරේරා මහතා පැවසුවේය.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සිවු අවුරුදු ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිය (BBA Special Honours) මෙරටදීම සම්පූර්ණ කිරීමට හෝ ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව හා එක්සත් රාජධානියේ පිහිටි ප‍්‍රමුඛ පෙළේ SLIIT හවුල්කාරී විදෙස් විශ්වවිද්‍යාල වෙතින් උපාධිය නිමාකිරීමේ අවස්ථාව සිසුන්ට හිමිවී ඇත.

    ''SLIIT උසස් අධ්‍යාපන ආයතනය හා ව්‍යාපාර ක්ෂේත‍්‍රය අතර පවතින සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ව්‍යාපාරික උපදේශක මණ්ඩලයක් නිර්මාණය කර තිබෙනවා. ආචාර්ය කිෂූ ගෝමස්, ආරියශීල වික‍්‍රමනායක, ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු, ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය, කුලතුංග රාජපක්ෂ හා ශිරෝමාල් කුරේ ආදී මහත්ම මහත්මීන් ඒ අතරින් කිහිපදෙනෙකි. අප විෂය මාලාව වාර්ෂිකව අළුත් කරන විට හා සමාලෝචනය කරන විට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් වන මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයින්ගේ සුවිශේෂී ගුරුහරුකම් ලබාගන්නවා.'' SLIIT ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ ප‍්‍රධානී කිංස්ලි බර්නාඞ් මහතා පැවසුවේය.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ නව සිසුන් බඳවාගැනීමේ මීළඟ වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර 0117544801 දුරකථන අංකයෙන් හෝ info@sliit.lk වෙබ් අඩවිය මගින් දැනගැනීමට හැකිය.