උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල SLIIT නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

    March, 31, 2016

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා මාලඹේ පිහිටි SLIIT ප‍්‍රධාන පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවේය. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යතුමන් උණුසුම්ව පිළිගැනුණි.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ස්ථාපිත කර ඇති එක්සත් රාජධානියේ Bentley Motors වෙනුවෙන් ඉදිකළ මෙරට පර්යේෂණාගාරය, දේශන ශාලා මෙන්ම තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business), ඉංජිනේරුවිද්‍යාව (Engineering), සත්කාරක සේවා කළමනාකරන (Hospitality) ආදී පීඨයන් මෙහිදී අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

    ''විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පිළිගැනීම හිමිවී ඇති උපාධි පාඨමාලාවන් ප‍්‍රදානය කිරීමේ නිරත මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT පරිශ‍්‍රය, අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්වීම අතිශය සුවිශේෂී අවස්ථාවකි. තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business), හා ඉංජිනේරුවිද්‍යාව (Engineering) ආදී විෂය ක්ෂේත‍්‍රයන්ට අදාළ උපාධි පිරිනැමීමේ නිරත SLIIT උසස් අධ්‍යාපන ආයතනය නවෝත්පාදනයන් තුළින් ජාතියට හා මුළු මහත් ලෝකයටම සුවිශාල මෙහෙවරක් කළහැකි ලෝක මට්ටමේ බුද්ධිමතුන් බිහිකිරීමට සමත් ඉහළ මට්ටමේ දැනුම ලබාදීමේ විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත්වීමට මහත් පරිශ‍්‍රමයක් දරයි. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ පැහැදිලි කළ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය.

    ''SLIIT උසස් අධ්‍යාපන ආයතනය සතු ඉහළ මට්ටමේ පර්යේෂණ පහසුකම් පෙන්වා දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා උණුසුම්ව පිළිගැනීමට හැකිවීම අප ලැබූ මහත් භාග්‍යයකි. වෘත්තීය ක්ෂේත‍්‍රයේ අවශ්‍යතා හා ගෝලීය මට්ටමින් පිළිගන්නා සුදුසුකම් සිසුන්ට හිමිකරදීමට හැකි පරිදි SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම අප සැලසුම වී තිබෙනවා.'' SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා පැවසුවේය.

    එක්සත් රාජධානියේ ඉංජිනේරු විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී (BSc) විශේෂ උපාධිය පිරිනමන මෙරට ප‍්‍රථම උසස් අධ්‍යාපන ආයතනය වන්නේ ද SLIIT ය. මෙම සුදුසුකම මගින් SLIIT වෙතින් උපාධිය හිමිකරගන්නා සිසුන්ට වරලත් ඉංජිනේරු සුදුසුකම හිමිකරගැනීමේ අවස්ථාව හිමිවෙයි.

    SLIIT මගින් පිරිනමන තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business), ඉංජිනේරුවිද්‍යාව (Engineering), සත්කාරක සේවා කළමනාකරනය (Hospitality) හා වාස්තු විද්‍යාව (Architecture) වැනි පාඨමාලා රාශියක් හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වී ඇත. SLIIT සිසුන් විසින් තෝරාගත් පාඨමාලාවන් මෙරටදීම හෝ එක්සත් රාජධානිය (UK), ඇමරිකා එක්සත් ජනපදය (U.S.A), කැනඩාව (Canada) හෝ ඕස්ටේ‍්‍රලියාව (Australia) ආදී රටවල පිහිටි SLIIT අනුබද්ධිත විශ්වවිද්‍යාල වලදී සම්පූර්ණ කිරීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. මීට අමතරව Virtusa, Brandix, 99X හා John Keells වැනි ප‍්‍රමුඛ පෙළේ සමාගම් සමගද SLIIT ආයතනය ශක්තිමත් සබඳතා ඇතිකරගෙන ඇත.

    SLIIT මගින් සිසුන්ට එකිනෙකට වෙනස් ක‍්‍රීඩාවන් 20 ක නියැලීමට, විවිධ සංගම් හා සමාජ බිහිකරගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙන නිසා අධ්‍යාපනය මෙන්ම ක‍්‍රීඩාවට ද දක්ෂ සිසුන් පිරිසක් බිහිකරමින් SLIIT වෙතින් පරිපූර්ණ අධ්‍යාපනයක් හිමිකරගැනීමේ අවස්ථාව සිසුන්ට සලසා දී ඇත.
    SLIIT උසස් අධ්‍යාපන ආයතනය පිළිබඳ වැඩිදුර විස්තර www.sliit.lk වෙබ් අඩවිය මගින් හෝ 011754 4801 දුරකථන අංකයෙන් දැනගත හැකිය.


    සේයා රූ සටහන - SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක යන මහත්වරුන් විසින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පිළිගන්නා අයුරු