2015 වසරේ ආයතනික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා බ‍්‍රැන්ඩික්ස්

    April, 6, 2016

    ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් හි සාමාජිකයින් 2015 වසරේදී ජාතික රුධිර පාරවිලයන සේවයට (NTBS) ලේ පයින්ට් 3,448 ක් ප‍්‍රදානය කර තිබෙන අතර මෙම සත්කාරය අගයමින් පසුගියදා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සමූහය ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක්කරමින් විශේෂ සමරු ඵලකයක් ප‍්‍රදානය කරන ලදී.

    ජාතික රුධිර පාරවිලයන සේවයට වාර්ෂිකව ලේ දන්දෙන බ‍්‍රැන්ඩික්ස් සමූහයට ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස මෙම ඇගයීම හිමිවූ පිට පිටම හයවන අවස්ථාව වන්නේ මෙයයි.

    සමූහයට අයත් කර්මාන්ත ශාලා වලින් 2015 වසරේදී එකතු කර ජාතික රුධිර පාරවිලයන සේවයට ලබාදුන් ලේ ප‍්‍රමාණය බ‍්‍රැන්ඩික්ස් විසින් වසරක් තුළ මෙම සේවයට පරිත්‍යාග කළ දෙවැනියට විශාලතම ලේ ප‍්‍රමාණය ලෙස වාර්තා වේ. මේ අනුව, බ‍්‍රැන්ඩික්ස් විසින් පසුගිය වසර නමය තුළදී ලේ පයින්ට් 20,423 ක් ජාතික රුධිර පාරවිලයන සේවයට පරිත්‍යාග කර තිබේ.

    ‘‘ජාතික රුධිර පාරවිලයන සේවය සමග අපි විසින් වාර්ෂිකව ක‍්‍රියාත්මක කරන ලේ දන්දීමේ වැඩසටහනට අපගේ සාමාජිකයින් විසින් අඛණ්ඩවම කැපවී සිටිනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාර, කර්නල් සුජිත් ජයසේකර මහතා සඳහන් කළේය. ‘‘ජනතාව සහ සමාජ වගකීම පිළිබඳව ඔවුන් තුළ තිබෙන හැඟීම අපව දිරිමත් කරන සුළුයි. මෙම වැඩසටහන අඛණ්ඩවම සිදුකිරීමට එය විශාල සහයෝගයක් මෙන්ම හේතුවක්. එළඹෙන ලේ දන්දීමේ වැඩසටහන ජාතික රුධිර පාරවිලයන සේවය සමග ඒකාබද්ධව වසර පුරාම පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා.’’

    2015 වසරේදී බ‍්‍රැන්ඩික්ස් ලේ දන්දීමේ වැඩසටහන සඳහා වැඩිම දායකත්වයක් දැක්වූ කර්මාන්තශාලා වූයේ ලේ පයින්ට් 368 ක් ප‍්‍රදානය කළ පොලොන්නරුවේ බ‍්‍රැන්ඩික්ස් ඇපරල් සොලූයුෂන් ලිමිටඞ් (BASL) - ඇත්ලෙෂර්, ලේ පයින්ට් 262 ක් ප‍්‍රදානය කළ කොග්ගල BASL- එසෙන්ෂල්ස්, ලේ පයින්ට් 249 ක් ප‍්‍රදානය කළ BASL-ලොන්ජරි වතුපිටිවල යන සමාගම්ය. මෙම ලේ දන්දීමේ වැඩසටහන බස්නාහිර, දකුණ, උතුරු මැද, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය කරමින් පැවැත්වුණි.

    ජාතික රුධිර පාරවිලයන සේවයේ නිළධාරීන්ට අනුව රුධිරය සඳහා පවතින ඉල්ලූම සපුරාලීම සඳහා මෙවැනි ඉහළ ප‍්‍රමාණයේ ලේ දන්දීම් යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී අවශ්‍ය වේ. බ‍්‍රැන්ඩික්ස් රට පුරා ව්‍යාප්තවී තිබීම නිසා, කොළඹ මෙන් වැඩිපුර ප‍්‍රමාණයක් ලේ දන් නොදෙන ප‍්‍රදේශ වලින්ද සැලකිය යුතු ලේ ප‍්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන සේවය සඳහා එකතු කරදීමට කටයුතු කර තිබීම කැපී පෙනේ. මීට අමතරව, බ‍්‍රැන්ඩික්ස් ලේ දන්දීමේ වැඩසටහන වඩාත් සුවිශේෂී වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහන් සති අන්ත වලදී සිදුකරත් මෙය සතියේ වැඩ කරන දින වලදී සිදු කිරීම නිසයි. පසුගිය වසරේ සැප්තැම්බර්-දෙසැම්බර් කාල සීමාව තුළදී ජාතික රුධිර පාරවිලයන සේවය යම් ලේ හිඟයකට මුහුණ දුන් නිසා බ‍්‍රැන්ඩික්ස් විසිදුන් සිදුකළ මෙම ලේ දන්දීමේ වැඩසටහන වඩාත් කාලීන වේ.

    බ‍්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේල ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ කර්මාන්තශාලා 42ක සේවයේ නිරත 48,000 ක සේවක පිරිසකගෙන් සමන්විත වේ. ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම සන්නාම සඳහා ඇඟලූම් සපයන දැවැන්ත සැපයුම් කරුවෙකු වන බ‍්‍රැන්ඩික්ස් පරිසර හිතකාමී ඇඟලූම් නිෂ්පාදනයේදී ගෝලීය ප‍්‍රමුඛයෙකි.

    ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා (දකුණේ සිට සිව්වැන්නා) ඇගයීමේ සමරු ඵලකය බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාර, කර්නල් සුජිත් ජයසේකර මහතා වෙත පිරිනමයි. මෙම අවස්ථාවට බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ නියෝජිතයින්ද සහභාගී විය.