කොළඹ-නුවර අධිවේගියට ADB බලාපොරොත්තු

    June, 18, 2014

    යෝජිත නුවර-කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හෙවත් උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම සඳහා රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව කියයි.

    මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා විසින් මේ බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අප විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

    මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව රජය සමග සාකච්ඡා කරමින් තිබෙන බවත් ඒ පිළිබඳව තවමත් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බවත් හෙතෙම මෙහිදී කීය.

    ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර කොළඹ වරාය නිරීක්ෂණය කිරීමටද ගොස් තිබේ.

    කොළඹ වරායේ ඉදිකිරීම් පිළිබඳව තමා සතුටට පත්වන බවත් නාවික කේන්ද්‍රස්ථානයක පිහිටි ලංකාවට වෙළඳාම දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් තිබෙන බවත් හෙතෙම පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථික වර්ධනය පිළිබඳව ඔහු අදහස් දක්වා තිබෙන අතර ඔහු පවසන්නේ කළාපයේ වැඩි වර්ධන වේගයක් අත්පත් කරගත් රටක් ලෙස ලංකාව මේ වසරේදී හා ලබන වසරේදී සියයට 7.5 ක පමණ ආර්ථික වර්ධනයක් ලබාගනු ඇති බවයි.

    යුද්ධයට මැදිව තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධන වේගය රටේ සෙසු පළාත්වල වර්ධන වේගය මෙන් දෙගුණයක් වී තිබීම කැපී පෙනෙන්නක් බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.