AIG රක්ෂිතයින්ට, සේවකයින්ට මොකද වෙන්නෙ ? රක්ෂණ මණ්ඩල සභාපතිනිය කතා කරයි

    June, 13, 2014

    AIG රක්ෂණ සමාගම ලංකාවේ ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්වීම පිළිබඳ ලිඛිත සැලැස්ම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම සැලැස්ම මණ්ඩලය විසින් අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය අප සමග පැවසුවාය.

    ඇය සඳහන් කළේ AIG රක්ෂණ සමාගමේ කළාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් තමාව හමුවිය යුතුයැයි හදිසි දැනුම් දීමක් කර තිබූ බවත් ඒ අනුව පසුගිය බදාදා ඔහු කොළඹට පැමිණ තමාව මුණගැසී ශ්‍රී ලංකාවෙන් සමාගමේ ව්‍යාපාරික කටයුතු ඉවත් කරගන්නා බව හදිසියේ දැනුම් දුන් බවයි.

    වාචිකව කළ එම දැනුම්දීම විධිමත් ලෙස ලිඛිතව ඉදිරිපත් කරන්නැයි තමා ඔහුට දැනුම් දුන්බව අප සමග පැවසූ සුගතදාස මහත්මිය කියා සිටියේ සමාගම් වලට ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය හැකි වුවත් මේ ආකාරයෙන් හදිසියේ ව්‍යාපාර කටයුතු ඉවත් කර ගැනීම් අපේක්ෂා නොකරන බවයි.

    ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට AIG රක්ෂණ සමාගම දැනුම් දී තිබෙන පරිදි ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රාග්ධනය සමාගමේ අනිකුත් ව්‍යාපාරික කටයුතුවල ආයෝජනය කිරීමට අදහස් කර ඇත.

    AIG රක්ෂණ සමාගම මෙරට සිදුකර තිබෙන්නේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික කටයුතු පමණක් බවත් මෙරට රක්ෂණ වෙළඳ පොළින් සමාගමේ වෙළඳ පොළ කොටස සියයට 1.6 ක් තරම් අඩු බවත් පැවසූ රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය සඳහන් කළේ මෙරට රක්ෂිතයින්ට ගෙවිය යුතු මුදල් ගෙවන බවට සමාගම රක්ෂණ මණ්ඩලයට පොරොන්දු වූ බවයි.

    මීට අමතරව, සමාගමේ මෙරට සේවය කළ සේවකයින්ට සාධාරණයක් ඉටුකරන බව සමාගම පැවසූ බවද සුගතදාස මහත්මිය පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටී.