මෝටර් රථ සමාගම් රැසක් අමාරුවේ. මෙන්න! Anti-monopoly investigation

    August, 18, 2014

    චීනයේ ක්‍රියාත්මක මෝටර් රථ අලෙවි සමාගම් සම්බන්ධයෙන් එරට විසින් ආරම්භ කර තිබෙන ඒකාධිකාරී විරෝධී පරීක්ෂණ (anti-monopoly investigation) කටයුතු සිදුකිරීම සඳහා ටොයොටා, හොන්ඩා, නිසාන් යන ජපාන සමාගම් සහයෝගය ලබාදී ඇතැයි වාර්තා වේ.

    චීන රජය විසින් එරට ක්‍රියාත්මක දේශීය හා විදේශීය මෝටර් රථ සමාගම් 100 කට වැඩි ප්‍රමාණයක් මෙම පරීක්ෂණයට භාජනය කර ඇතැයි වාර්තා වන අතර පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පනවා තිබෙන චීන ඒකාධිකාරී විරෝධී නීති (China's anti-monopoly law) පුද්ගලික මෙන්ම රජයේ ආයතන වලට එකසේ බලපාන බව සඳහන්ය.

    මෙම පරීක්ෂණ වලින් ඒකාධිකාරී හැසිරීම් නතර කර සාධාරණ තරගයක් ඇති කිරීමට අරමුණු කර තිබෙන අතර මෙවර චීන මෝටර් රථ කර්මාන්තය මෙම පරීක්ෂණයට බඳුන් කර තිබෙන්නේ ලෝකයේ දැවැන්තම මෝටර් රථ වෙළඳ පොළ වන එරට වෙළඳ පොළේ තිබෙන ඒකාධිකාරී තත්ත්වයන් අවම කර පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අරමුණෙනි.

    පසුගියදා වාර්තා වූයේ සුපිරි BMW මෝටර් රථ අලෙවි නියෝජිතයින් සිව් දෙනෙකුට මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ මිල නියාමකයා විසින් ඩොලර් 260,000 ක පමණ දඩ මුදලක් පැනවූ බවයි. එයට හේතුවී තිබෙන්නේ මෙම වෙළඳ නියෝජිතයින් සිව්දෙනා ඒකාබද්ධව වෙළඳ පොළේ එක් වැඩි මිලක් වංචනිකව අය කිරීමයි.

    මීට අමතරව, මෙම පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ Chrysler, Audi සහ තවත් ජපාන මෝටර් රථ වෙළඳ නියෝජිතයින් 12 දෙනෙකුද ඒකාධිකාරී වෙළඳ පොළ හැසිරීම් පෙන්නුම් කර තිබෙන බවයි.

    මෙම පරීක්ෂණවල ප්‍රගතිය පෙන්නුම් කරමින් ලොව පිළිගත් සන්නාම සහිත සුපිරි වාහන රැසකම මිල මේ වනවිට චීන වෙළඳ පොළේ අඩුවී ඇතැයි සඳහන්ය.

    මේ අනුව, ටොයොටා, හොන්ඩා හා නිසාන් යන ජපාන සමාගම්ද මේ වනවිට පවසා තිබෙන්නේ සිය වාහන අමතර කොටස්වල මිලද චීනයේදී අඩුකිරීමට සූදානම් බවයි.