ලංකාවට බලපෑම් කිරීමේ ජයලලිතාගේ බලය මැතිවරණ ප්‍රතිඵල වලින් වැඩි වුණාද ?

    May, 16, 2014

    භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ 11 වන විශාලතම ප්‍රාන්තය සහ ජනගහනය අනුව 07 වන ප්‍රාන්තය වන තමිල්නාඩුවේ බලය, මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවට දැඩි විරෝධතාවයක් දක්වන ජයලලිතා ජෙයරාම්ගේ පක්ෂය ඉතා ඉහළින් ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මේ නිසා, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හරහා ජයලලිතා ප්‍රමුඛ තමිල්නාඩුවට ශ්‍රී ලංකාවට වෙනදාට වඩා පීඩනයක් එල්ල කළ හැකිද ? මෙය අප බොහෝ දෙනාට ඇතිවන ගැටලුවකි.

    මෙවර ඉන්දීය මහ මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා තිබෙන නරේන්ද්‍රසිං මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුව තුළ තරග කළේ ජයලලිතාගේ All India Anna Dravida Munnetra Kazhagam (AIADMK) පක්ෂය හෝ DMK පක්ෂය සමග නොවේ.

    භාරතීය ජනතා පක්ෂය විසින් පක්ෂ හයකින් යුතු සන්ධානයක් තමිල්නාඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ අතර එම සන්ධානය අන්ත පරාජයකට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ අනුව, තමිල්නාඩුව තුළදී ජයලලිතාට අභියෝගයක් එල්ල කිරීමට මෝඩිගත් උත්සාහය අසාර්ථක වී තිබෙන නමුත් මෝඩි ලබා තිබෙන දැවැන්ත ජයග්‍රහණය හමුවේ තමිල්නාඩුව නොමැතිව පවා ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට හැකියාව ලැබී ඇත.

    භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණය දැවැන්ත ලෙස ජයග්‍රහණය කිරීම හමුවේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පාලනය කරමින් ප්‍රබල පීඩන කණ්ඩායමක් බවට පත්වීමට ජයලලිතා ප්‍රමුඛ තමිල්නාඩුවට තිබෙන හැකියාව අඩුවී තිබේ.

    මෙය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ගත්විට යම් සහනයක් විය හැකිය. එනම්, ශ්‍රී ලංකාවට අත පොවන ලෙස ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බල කිරීමට ජයලලිතාට තිබෙන හැකියාව මෙම මැතිවරණ ප්‍රතිඵලය නිසා නැතිවී ගොස් තිබෙන නිසයි.

    කෙසේවෙතත්, නැවත වතාවක් ජයලලිතා ඔප්පුකර තිබෙන්නේ තමා තවමත් තමිල්නාඩුවේ රැජිණ බවයි.