BBC StoryWorks වෙතින් බ්‍රැන්ඩික්ස් පිළිබඳව ‘Enriching the fabric of community’ කෙටි චිත්‍රපටය එළිදැක්වේ

    March, 11, 2022

    BBC StoryWorks Commercial Productions සමාගම මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව පාදක කරගෙන ‘Enriching the fabric of community’ නමින් කෙටි චිත්‍රපටියක් නිෂ්පාදනය කර තිබේ. මෙය ‘World Green Building Council’ හි ඉදිරිපත් කිරීමක් වන ‘Building a Better Future’ කෙටි චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක් වන අතර, මිනිසුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවයට ගොඩනැගිලි වලින් ඇතිවන බලපෑම සහ, දේශගුණ විපර්යාස අවම කිරීමට හරිත ගොඩනැගිලි සංකල්පය දායක වන ආකාරය යන මූලික කරුණු එමගින් ගවේෂණය කෙරේ.

    මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් (Brandix Essentials) කර්මාන්තශාලාව 2019 වසරේදී ලොව අංක එකේ ‘Net Zero Carbon’ සහතික ලත් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව බවට පත්විය. අහිතකර වායු විමෝචනය අවම කිරීම ඔස්සේ දේශගුණ විපර්යාස පාලනය කිරීමට දායක වීම වෙනුවෙන් එම කර්මාන්තශාලාවට මෙම ඇගයුම හිමි විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ‘Green Building Council’ (USGBC) මගින් ක්‍රියාවට නංවා ඇති ‘Leadership in Energy and Environmental Design (LEED)’ හරිත ගොඩනැගිලි ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය මගින් මෙම කර්මාන්තශාලාව ‘ප්ලැටිනම්’ ලෙස ශ්‍රේණිගත කර තිබේ.

    ඇඟලුම් කර්මාන්තය තුළ අර්ථවත් පරිවර්තනයක් සිදුකිරීමට නම්, පාරිසරික තිරසාරත්වය මෙන්ම සමාජයීය තිරසාරත්වයද ළඟා කරගත යුතු බව බ්‍රැන්ඩික්ස් සමාගම විශ්වාස කරයි. ඒ වෙනුවෙන්, තම සාමාජික සාමාජිකාවන්ට සහ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදෙමින් ඔවුන්ට නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීම සඳහා 'මනුසත්කාර' යන තේමාව යටතේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවර ගෙන තිබේ. මේ වනවිට පවුල් 4,500 කට අධික සංඛ්‍යාවකට මෙම වැඩසටහන් මගින් සෙත සැලසී ඇති අතර, පාසල් සහ රෝහල් වැනි ස්ථාන වෙතද මේ යටතේ පිරිසිදු පානීය ජල පහසුකම් සපයා ඇත.

    “තිරසාරත්වය අපගේ සෑම කටයුත්තකම අනිවාර්ය අංගයක් විය යුතු බව අප විශ්වාස කරනවා. එමෙන්ම අප සෑම විටම මුල්තැන දෙන්නේ පරිසරයේ සහ ප්‍රජාවන්ගේ යහපතටයි. විලාසිතා කර්මාන්තය යනු පරිසර දූෂණයට දායකත්වයක් දක්වන කර්මාන්තයක් බව පර්යේෂණ වලින් පෙනී යාමෙන් අනතුරුව, මෙම කර්මාන්තය පසුගිය වසර කිහිපයේදී සැලකිය යුතු වෙනස්කම් වලට ලක්වී තිබෙනවා. අපගේ තිරසාරත්වයේ ගමන ආරම්භ වූයේ මීට දශකයකට පමණ පෙරයි. එදා පටන්ම අප පාරිසරික හා සමාජයීය වශයෙන් තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කළා. අපගේ මඩකලපුවේ කර්මාන්ත ශාලාව වැනි හරිත ගොඩනැගිලි මේ සඳහා අගනා උදාහරණ ලෙස පෙන්වා දීමට පුළුවන්. මෙවැනි පියවර අපට ස්වභාවධර්මය සුරැකීමට මෙන්ම, අපගේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වඩාත් හිතකර හා ඵලදායී රැකියා පරිසරයක් නිර්මාණය  කිරීමට අවස්ථාව සලසා දෙනවා.” බ්‍රැන්ඩික්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා පැවසී ය.

    BBC StoryWorks Commercial Productions විසින් මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව පාදක කරගෙන නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය මගින් නිරූපණය වන්නේ එම කර්මාන්තශාලාවේ විජයග්‍රාහී හරිත ගමන් මගේ කථාවයි. හරිත ගොඩනැගිලි සම්ප්‍රදායේ ආදර්ශමත් පියවරක් වන එය, මුළුමනින්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වේ. එමෙන්ම එහි සියලු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීම හෝ නැවත භාවිතා කිරීම සිදුකෙරෙන අතර, අතිශය කාර්යක්ෂම ජල කළමනාකරණ පද්ධතිද එහි ස්ථාපිත කර ඇත. ගොඩනැගිල්ල ඉදිකිරීමේදී යොදා ඇති අමුද්‍රව්‍ය නිසා එය රත්වීම අවම වන අතර, කර්මාන්තශාලාව අවට සරුසාර ජෛව විවිධත්වය නිසා සාමාජික සාමාජිකාවන්ගේ යහපැවැත්ම තහවුරු වන ආකාරයේ සුවපහසු පරිසරයක්ද නිර්මාණය වී තිබේ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සුදර්ශනීගේ දෘෂ්ටි කෝණයෙන් විස්තර කෙරෙන මෙම කෙටි චිත්‍රපටය, ඇගේ ජීවිතයේදී ඇයට මුහුණ දීමට සිදුවූ අභියෝග සහ, බ්‍රැන්ඩික්ස් අත්වැල නිසා එම අභියෝග ජයගැනීමට හැකි වූ ආකාරය විස්තර කරයි.

    ‘Enriching the fabric of community’ කෙටි චිත්‍රපටය දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ Facebook, Instagram, Twitter සහ  LinkedIn සමාජ මාධ්‍ය පිටු ඔස්සේ නැරඹිය හැකි වේ.

    2023 වසර වනවිට, ශ්‍රී ලංකාව තුළ පිහිටි තම සියලුම කර්මාන්තශාලා Net Zero Carbon තත්ත්වයට ගෙන එන බවට බ්‍රැන්ඩික්ස් සමූහය World Green Building Council වෙත ප්‍රතිඥා දී ඇත. මෙම කෙටි චිත්‍රපටය, තමන් සමග අත්වැල් බැඳගෙන තිරසාරත්වය සහ ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අනෙකුත් සමාගම්ද දිරිගන්වනු ඇතැයි බ්‍රැන්ඩික්ස් සමූහය විශ්වාසය පළකරයි.