BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට

    June, 8, 2018

    60% - 80% ත් අතර වට්ටම් සමඟින් පොත් මිලියන 1.5 ක් රැගෙන පැය 24 පුරා ක්‍රියාත්මක පොත් අලෙවිය මෙම ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී ලංකාවේදී

    ලොව සුපතල පොත් අලෙවියක් වන BIG BAD WOLF පොත් අලෙවිය යළි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැරසෙයි. ලබන ජුනි මස 28 වන දින සිට ජුලි 8 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී එම පොත් අලෙවිය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව අද කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස් හි පැවති මාධ්‍ය හමුවකදී අණාවරණය කෙරිණ. ලොව ජනප්‍රියතම පොත් පත් මිලියන 1.5 ක පමණ ප්‍රමාණයක් 60%ත් 80% ත් අතර වට්ටම් යටතේ මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙන අතර දින 11ක් තිස්සේ පැය 24 පුරා විවෘතව තැබෙන මෙම පොත් අලෙවිය අඛණ්ඩව පැය 255ක් පුරා විවෘතව තැබෙනු ඇත.

    මහජන ප්‍රදර්ශනයට දිනකට පෙර එනම් ජුනි 27 වන දින පෙරවරු 10 සිට 11 දක්වා තෝරාගත් ආරාධිතයින්ට පමණක් මෙම පොත් අලෙවිය පෙර දැක්මක් ලෙස නැරඹීමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා වන අවසර පත් BIG BAD WOLF නිල ෆේස්බුක් පිටුවෙන් සහ මෙහි මාධ්‍ය සහකරුවන්ගෙන් ලබාගත හැකිය.

    මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට BIG BAD WOLF හි නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් , BIG BAD WOLF හි සහකරු දීපක් මාධවන් සහ Pro Read Lanka (pvt) Ltd හි අධ්‍යක්ෂ නිෂාන් වාසලතන්ත්‍රී යන මහත්වරු සහභාගි වූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන මෙම පොත් අලෙවිය සඳහා නිල බැංකුකරණ සහකරු වශයෙන් ලංකා බැංකුව ද, මොබිටෙල් සමාගම නිල දුරකථන සහකරු වශයෙන් ද, කැපිටල් මහාරාජා සමාගම ද ආදී වශයෙන් ආයතන ගණනාවක් සහය දක්වයි.

    BIG BAD WOLF හි දේශිය සහකරු වන Pro Read Lanka (pvt) Ltd හි අධ්‍යක්ෂ නිෂාන් වාසලතන්ත්‍රී මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වසරේ BIG BAD WOLF විසින් අත්කරගත් සාර්ථකත්වය නිසා දෙවන වරටත් මෙරටදී එම සුවිශේෂී අවස්ථාව සංවිධානය කිරීමට තමන් මැදිහත් වූ බවයි. පසුගිය අවස්ථාවේදී මෙන්ම මෙරට පාරිභෝගිකයා වෙත අමතක නොවන අත්දැකීමක් තිළණ කිරීමට සූදානම් බව පැවසූ වාසලතන්ත්‍රී මහතා කියා සිටියේ වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකුට ගැලපෙන පොත පත මෙවර ද මෙම පොත් අලෙවියට ඇතුළත් වන බවයි.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට දී මෙම පොත් අලෙවිය පැවති අතර මේ වසරේ එය ජූනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ප්‍රබන්ධ, හොඳම අලෙවියක් ඇති පොත්, සාහිත්‍යය, ප්‍රබන්ධ නොවන, ව්‍යාපාරික පොත පත, ඉවුම් පිහුම්, කලාව සහ නිර්මාණ, කොෆි ටේබ්ල් බුක් ආදී වශයෙන් වන විවිධ වර්ගයේ පොත පත 60% ත් 80%ත් අතර සුවිශේෂි වට්ටම් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

    තම දරුවන්ගේ කියවීම සඳහා යොමුකරවීමට උනන්දු වන මව් පියවරුන් සඳහා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම BIG BAD WOLF පොත් අලෙවිය හැඳින්විය හැකියි. ළමා කතන්දර, පාට කිරීම් සහ ක්‍රියාකාරකම් , අධ්‍යාපන, ආදී පොත පත රැසක් 60% ත් 80% අතර වට්ටම් යටතේ මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි.

    පසුගිය අවස්ථාවේදී ළමා කතා සඳහා අති විශාල ඉල්ලුමක් පැවති බවත් ප්‍රබන්ධ කථා වලටද ඒ හා සමාන ඉල්ලුමක් පැවති බවත් සඳහන් කළ BIG BAD WOLF හි සහකරු දීපක් මාධවන් මහතා කියා සිටියේ මේ වසරේදී එම ඉල්ලුම සලකා බලමින් ඒ සඳහා වැඩි පොත් ප්‍රමාණයක් රැගෙන විත් ඇති බවයි.

    සියලුම දෙනාට අඩු මුදලට හොඳ ඉංග්‍රීසි පොත් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන BIG BAD WOLF පොත් දැක්ම මෙවර සිය Red Readerhood වැඩසටහන ඔස්සේ මෙරට ප්‍රජා මෙහෙවරෙහි නිතර වෙමින් ප්‍රජාව සඳහා පොත් පත් පරිත්‍යාග කිරීමටද සූදානම්ව සිටියි.

    ශ්‍රී ලංකීය සමාජය තුළ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ඇති ඇල්ම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව BIG BAD WOLF හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව තවත් වැඩසටහනක් දියත් කර තිබේ. ඒ යටතේ අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රථිපල ලැබූවන් මෙම පොත් දැක්ම සඳහා සහභාගි කරවාගනිමින් ඔවුනට අවශ්‍ය පොත පත ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතය. පසුගිය වසරේ මෙම BIG BAD WOLF පොත් අලෙවිය පැවති අවස්ථාවේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ ගංවතුරින් හානියට පත්වූ ප්‍රදේශ වල දරුවන්ට අවශ්‍ය පොත පත නොමිලේ ලබාදීම සිදුකෙරිණ.

    සීමිත පිටපත් සංඛ්‍යාවකින් සමන්විත ඉතා වටිනා පොත් මිලදී ගැනීමට අමතරව මෙම BIG BAD WOLF පොත් අලෙවිය සඳහා පැමිණෙන පොත් ලොලීන්ට සමරු ටී ෂර්ට් සහ වෙනත් සමරු රැසක් අලෙවි කිරීම ද මෙහිදී සිදුවෙයි. මේ වසරේ සිට මෙම පොත් අලෙවියෙන් පොත් මිලදී ගැනීමේදී ප්‍රතිචක්‍රියකරණය කළ හැකි බෑගයක් ලබාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත පිරිනමා ඇත්තේ ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් සිදුවන පාරිසරික හානි වලට විකල්පයක් ලෙසිනි. පොත් අලෙවිය ට සමගාමීව එළිමහනේ ආහාර අලෙවි සැල් කිහිපයක්ද පාරිභෝගික පහසුව සඳහා ඉදි කර ඇත. The Sandwich Factory හි හිෂාම් කාදර් විසින් එහි කළමණාකරණය සිදු කරයි. තවද පාරිබෝගික පහසුව සඳහා මෙම සේවාව uPay යෙදුම මගින් බලගන්වා ඇත.

    පහත දැක්වෙන ලින්ක් එක භාවිත කරමින් BIG BAD WOLF වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙම පොත් අලෙවිය තුළ දී සුවිශේෂි වරප්‍රසාද රැසක් හිමිකරගත හැකිය. https://www.bigbadwolfbooks.co m/lk/register/english