Bodum Engineering Solutions සමාගම මෙරට පශුසම්පත් ක්ෂේත්‍රය ස්වයංක්‍රිය කරයි

    August, 9, 2017

    Lanka Livestock '17 ප්‍රදර්ශනය ජුලි මස 20-22 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්විණි. කුකුළු, කිරි, ඌරු සහ පෝෂණ ක්ෂේත්‍රයේ සැපයුම්, ස්ථාපනය කිරීම් සහ මෙවලම් නඩත්තුව පිළිබඳ දැනුම්-කේන්ද්‍රීය සමාගමක්වන Bodum Engineering Solutions සමාගම මෙම ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකයා වශයෙන් අත්වැල් බැඳ ගත්තේය.

    නාගරීකරණය සහ ඉහළ උපයෝගී ආදායම් මට්ටම් හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ යන කුකුළු මස් පරිභෝජනයත් සමග, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ මැලේසියාවේ AMB Tarsus සමූහය එක්ව Lanka Livestock '17 ලෙස නම් කෙරුණු මෙරට පළමු ජාත්‍යන්තර කෘෂි, බෝග සහ පශු සම්පත් ප්‍රදර්ශනය සංවිධානය කළේය. කෘෂි, බෝග සහ පශු සම්පත් නිෂ්පාදන සැපයුම්කරුවන් හට ගොවීන්, වගා හිමිකරුවන්, බෝග නිෂ්පාදකයන්, පශු වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් සහ අනුකලිකයන් මුණ ගැසීම සඳහා මෙම ප්‍රදර්ශනය කදිම වේදිකාවක් බවට පත් විය.

    වේගයෙන් වර්ධනයවන ඉල්ලුමට මුහුණ දීම සඳහා නවීන තාක්ෂණය සහ ගොවිපළ ක්‍රම උපයෝගී කර ගැනීම හේතුවෙන් මෙරට පශු සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන සිටී. කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම කුකුළු නිෂ්පාදන සහ වාණිජ වශයෙන් කුකුළන් බෝ කිරීම තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබේ.

    "අදවන විට මෙරට කුකුළු පාලනය ආසියානු කලාපයේ පවතින වඩාත් නවීනත ම කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. වේගයෙන් වර්ධනයවන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දීම සඳහා බොහෝ කුකුළු පාලකයන් අඛණ්ඩව සිය බෝ කිරීමේ මධ්‍යස්ථාන, ගොවිපළ සහ පිරිසැකසුම් නවීකරණය කිරීමට පෙළඹීම ඊට හේතුවයි" යනුවෙන් Bodum Engineering Solutions සමාගමේ විකුණුම් සහ පසු විකුණුම් අධ්‍යක්ෂ රජීව් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

    ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ විශ්වසනීයත්වයට හානි නොවන අයුරින් නවීන තාක්ෂණය හඳුන්වා දීම සිය සමාගමේ අරමුණවන බවය. "ගොවීන් විසින් යොදාගනු ලබන එවැනි තාක්ෂණික ක්‍රමවේද හරහා කර්මාන්තයේ කාර්යක්ෂමතාවයේ වර්ධනයටත්, මෙහෙයුම් පිරිවැය අවම කිරීමටත්, අස්වනු සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කර ගැනීමටත් ඔවුන් දායක වී තිබෙනවා. තාක්ෂණික වශයෙන් සුදුසුකම් නොලත්, ලාභය පිළිබඳ පමණක් අවධානය යොමු කරන වෙළෙඳුන් හේතුවෙන් මෙම තාක්ෂණික වර්ධනයට බාධාවක් නොවීමට වගබලා ගැනීම අප මුහුණ දෙන එක්තරා අභියෝගයක්"

    නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ශ්‍රමිකයන් සපයා ගැනීමේ අපහසුව හේතුවෙන් සිය මූලෝපාය පුළුල් කරමින් හැකි සෑම විටකම සිය මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රිය කිරීමට නිෂ්පාදකයන්ට සිදු වී තිබේ. "මේවන විට ගොවිපළ, පිරිසැකසුම් සහ ඇසුරුම්කරණ ක්‍රියාවලි සඳහා වැඩි ශ්‍රමිකයන් පිරිසක් යොදා ගැනෙනවා. පාරිභෝගිකයන් හට ස්වයංක්‍රියකරණයට හුරු වීමේ හැකියාවක් පවතින බව අපගේ විශ්වාසයයි. නවීන තාක්ෂණය යොදා ගන්නා කුකුළු පාලකයන් හට ක්ෂේත්‍රය තුළ අසමසම ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති බව අපට පෙනෙන්නට තිබෙනවා" යි මිරැන්ඩා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මීට වසර 33කට පෙර ස්ථාපනය කරන ලද Bodum සමාගම ආහාර-පාන ක්ෂේත්‍රය සඳහා ඇසුරුම්කරණ සහ පිරිසැකසුම් යන්ත්‍රෝපකරණ ආනයනය හා අලෙවිය හරහා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. 1990දී පශු සම්පත් මෙවලම් අලෙවි කිරීමේ හිමිකම ලබා ගත් එම සමාගම එතැන් පටන් පශු සම්පත් ක්ෂේත්‍රය දෙසට සිය මෙහෙයුම් කටයුතු කේන්ද්‍රගත කළේය. 2000 වසරවන විට, මහා පරිමාණ පශු සම්පත් අංශ, කුඩා පරිමාණ ගොවීන් සහ රාජ්‍ය සංවිධාන සඳහා විසඳුම් ලබා දෙන පශු සම්පත් යන්ත්‍රෝපකරණ සම්පාදනයේ ප්‍රමුඛත ම සමාගමක් බවට පත් වීමට එම සමාගම සමත් විය. පසුකලෙක අලෙවියෙන් පසු සේවා අංශයක් ද හඳුන්වා දෙනු ලැබූ අතර එය සමාගමේ සාර්ථකත්වයේ ප්‍රධාන සාධකයක් බවට පත් විය.

    අදවන විට, එම සමාගම පශු සම්පත් ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක් බවට පත්ව සිටී. කුකුළු පාලනය සඳහා භාවිත කෙරෙන පරිසර හිතකාමී ආවෘත ක්‍රමවේද, ඌරු පාලනය සහ විසඳුම් සඳහා අවශ්‍ය මෙවලම් සම්පාදනයේ මෙන්ම කුකුළන් බෝ කිරීමේ මධ්‍යස්ථාන සහ පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සම්පාදනයේ ද එම සමාගම ප්‍රමුඛත්වය හිමිකර ගෙන සිටී. අපජල පිරිපහදු පද්ධති සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පශු සම්පත් සහ පිරිසැකසුම් අංශවලට හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍ර පරිසර හිතකාමී ලෙස පවත්වා ගැනීමට ද එම සමාගම සිය දායකත්වය ලබා දෙයි.

    විශේෂයෙන් කිරි පිටි සහ පිටි කළ පොල්කිරි කර්මාන්තයේ පිරිසැකසුම් සහ ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ සම්පාදනය කරමින් Bodum Engineering Solutions සමාගම මෙරට ආහාර-පාන අංශය තුළ ද අඛණ්ඩව සිය මෙහෙයුම් කටයුතු සිදු කරයි.

    "කලාපීය සහ ගෝලීය වශයෙන් කර්මාන්තය තුළ අප දශක තුනකට අධික කාලයක් පුරා හිමිකර ගෙන ඇති අත්දැකීම් සම්භාරය සහ විශේෂඥ දැනුම හේතුවෙන් මෙරට ජනතාවට විශාල මෙහෙයක් සිදු කිරීමට අපට හැකි වී තිබෙනවා. නිවැරදි උපදේශනය සමගින් ප්‍රමිතියෙන් උසස්, විශ්වසනීය සහ කල් පවත්නා සේවාවක් ලබා දීම වෙනුවෙන් අප කීර්තියට පත්ව සිටිනවා. පශු සම්පත් කර්මාන්තයට මෙන්ම අපගේ පාරිභෝගිකයන්ට ද එකසේ ප්‍රතිලාභ සලසන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට අප නිබඳ අවධානය යොමු කරනවා" යනුවෙන් මිරැන්ඩා මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය.

     

    සේයා රූ සටහන : අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා Bodum Engineering Solutions සමාගම රන් අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් එම සමාගමේ විකුණුම් සහ පසු විකුණුම් අධ්‍යක්ෂ රජීව් මිරැන්ඩා මහතාට සහතිකපත පිරිනැමූ අවස්ථාව