‘Book Now Pay Later’ අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ කාගිල්ස් බැංකුව එක්ව ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසයි

    February, 20, 2019

    ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කාගිල්ස් බැංකුව අතර නව ගිවිසුමක් පසුගියදා අත්සන් තැබීය. එමගින් සංචාරවල නිරත වන ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැලසෙන අතර www.srilankan.com යන වෙබ් අඩවිය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ දී ඒ සඳහා මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල්වලින් සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

    ශ්‍රීලංකන් හි 'Book Now Pay Later' යනු අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ දී සහ ගෙවීම් සිදුකිරීමේ දී ගුවන් මගීන් වෙත සුවිශේෂී පහසුකම් ලබාදෙන ක්‍රමවේදයකි. මෙම නව හවුල්කාරිත්වය සමඟ ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය හරහා ලබාගන්නා ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ගෙවීමේ දී කාගිල්ස් ෆුඩ් සිටි සහ කාගිල්ස් බැංකු සියළුම ශාඛාවලින් ගෙවීම් සිදු කළ හැකි වේ. එනම් www.srilankan.com වෙබ් අඩවිය මගින් මිලදී ගන්නා ගුවන් ටිකට්පත් සඳහා ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති 370 කටත් අධික කාගිල්ස් ෆුඩ් සිටි "කාගිල්ස් කෑෂ්" මගින් හෝ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන කාගිල්ස් බැංකු සියළුම ශාඛාවලින් මුදල් ගෙවීමේ හැකියාව පවතී.

    "කාගිල්ස් කෑෂ්" අසමසම සේවාවක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි. කාගිල්ස් බැංකුව, ඉතා කෙටි කාල සීමාවක් තුල ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කර තිබේ. කාගිල්ස් බැංකුව යනු මුදල් ගිණුම්, තැන්පතු කිරීම්, මුදල් යැවීම් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු සේවාවන් රැසක් සපයනු ලබන වාණිජ බැංකුවකි. අද වන විට කාගිල්ස් බැංකුව නවතම ඩිජිටල් බැංකු සේවා මාලාවක් තුලින් අසමසම පාරිභෝගික පහසුවක් ලබා දී ඇත. දිවයින පුරා විසිරී පවතින 370කට අධික කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් හරහා දින 365පුරා උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දී ඇත.

    මෙම නව සම්බන්ධතාවය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ සඳහන් කළේය. “ Book Now Pay Later පහසුකම ශ්‍රී ලංකාව පුරා සිටින ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි පාරිභෝගිකයින්ට දැනටමත් විශේෂ පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අයටද විශේෂ වට්ටම් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉදිරියේ දී කාගිල්ස් බැංකුව සමඟ ගෙවීම් සිදුකිරීමේ මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ කටයුතු කරනවා” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමඟ සම්බන්ධ වීමට සහ ගුවන් මගීන්ගේ පහසුව සඳහා දිවයින පුරා ඇති කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල් 370 කට අධික ප්‍රමාණයක් මගින් ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත් සඳහා ගෙවීම් සිදුකිරීමට හැකිවීම පිළිබඳ අපි අතිශයින් සතුටට පත්වෙනවා. ඒ වගේම මෙය අපගේ මූල්‍ය සහයෝගීතාවයට ඇති කැපවීම පෙන්වන තවත් උදාහරණයක් . මෙමගින් සියලු ශ්‍රී ලාංකිකයන්ට නව ආරෙක සේවාවක් ලබාදීමට අපගේ ජාතික ගුවන් සේවය සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    “Book Now Pay Later” ක්‍රියාවලිය ඉතා පහසුය. සංචාරකයන්ට www.srilankan.com වෙබ් අඩවිය මාර්ගයෙන් කොළඹ සිට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගුවන් ගමනට පැය 72 ක් ගත වීමට පෙර තම ගුවන් ටිකට්පත් වෙන් කර ගත හැකිය. ඔවුන් 'Pay Later' විකල්පය තෝරාගත් පසුව, පාරිභෝගික වෙන් කිරීමේ අංකයක් (Reservation Number ) , තහවුරු කිරීමේ ඊ-තැපෑලක් සහ ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇත. මේ සඳහා පැය 48 ක උපරිම කාලයක් ලැබෙන අතර කාගිල්ස් බැංකු සහ කාගිල්ස් ෆුඩ් සිටි ජාලය හරහා මුදල් ගෙවීම් සිදු කළ හැකිය. ‘Book now Pay later’ සේවාව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් නොමැති අයට,ඔවුන්ගේ සංචාරක අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ණය සීමාවන් නොමැති අයට සහ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ කාඩ්පත් භාවිතා කිරීමට අකමැති ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වෙනුවෙනි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 111 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

    කාගිල්ස්" සන්නාමය යනු වසර 175 ක් පුරා සාරධර්ම හා ආචාර ධර්ම පිළිබඳ ශක්තිමත් පදනමක් මත ගොඩනගා ගනිමින් ශ්‍රී ලාංකිකයන් වෙත විශ්වාසවන්තව සේවය සපයන වෙළඳ නාමයකි. කාගිල්ස් බැංකුව, “දිරියට පන දෙන බැංකුව” යන පාඨය හරහා මිනිසුන් තුල වූ අධිෂ්ඨානය හා ඔවුන් පිලිබඳ දරණ දර්ශනය හා විශ්වාසය පිළිබිඹු කරයි. කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලය කොල්ලුපිටියේ පිහිටා ඇත. මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම,පරණ මුවර් වීදිය, වත්තල, රාජගිරිය, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, හලාවත, කදුරුවෙල, වව්නියාව, චුන්නාකම් සහ යාපනය යන නගර වල ශාඛා ජාලය ස්ථාපිතව ඇත .

    ඡායාරූප - කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රජේන්ද්‍ර ත්‍යාගරාජා (වම), ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල යන මහත්වරුන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු.


    ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ සාමාජිකයන් සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු.