July, 26, 2018
ආසියාවේ ප්රමුඛත ම බුරුසු නිෂ්පාදකයෙකුවන BPPL Holdings සමාගම (BPPL), ශ්රී ලංකාවේ ප්රථම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය.
BPPL සමාගමේ පූර්ණ අනුබද්ධිත අනු සමාගමක්වන Eco-Spindles සමාගම විසින් මෙම ව්යාපෘතිය දියත් කරනු ලැබිණි. මුළුමනින් ම ප්රතිචක්රීයකරණය කරන ලද පොලියෙතිලින් ටෙරෙප්තලේට් (PET) මගින් නූල් නිෂ්පාදනය කිරීම මෙම නිෂ්පාදනාගාරයේ අරමුණයි.
අනාගත දැක්මකින් යුතු සමාගමක් ලෙස Eco Spindles සමාගම පිරිසිදුකාරක මෙවලම් සහ තීන්ත බුරුසු සඳහා කෘත්රිම මොනෝෆිලමන්ට් නිෂ්පාදනයට ද, රෙදිපිළි ආදිය සඳහා පොලියෙස්ටර් නූල් නිෂ්පාදනයට ද කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.
තාක්ෂණයෙන් අනූන මෙම නවත ම නිෂ්පාදනාගාරය හොරණ ආයෝජන මණ්ඩල පරිශ්රයේ වර්ග අඩි 13,000ක වපසරියක පිහිටා ඇති අතර දේශීය සහ විදේශීය කීර්තිමත් රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා වසරකට ආසන්න වශයෙන් කෘත්රිම නූල් ටොන් 960ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
මෙය, බහුඅවයවීකරණ ක්රියාවලිය මගහැර කැබලිවලින් සෘජුව ම නූල් නිෂ්පාදනය කරන ලොව ඇති නිෂ්පාදනාගාර දෙකෙන් එකක් වීම ද විශේෂත්වයකි.
භාවිත කරන ලද PET බෝතල් මෙම නිෂ්පාදනාගාරය සඳහා ප්රධානත ම අමුද්රව්ය වේ. දිවයින පුරා පිහිටි Eco Spindles එක්රැස් කිරීමේ මධ්යස්ථාන 125කට අධික සංඛ්යාවක් මගින් සෑම මසකම PET බෝතල් ටොන් 200-250 අතර ප්රමාණයක් එක්රැස් කෙරේ.
ඉන්පසුව උණු සහ සිසිල් ජලයෙන් පිරිසිදු කර එම බෝතල් කැබලි බවට පත්කර ප්රතිචක්රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කෙරේ. මෙම පොලියෙස්ටර් නූල් නියම සුදු පැහැයෙන් මෙන්ම වර්ණයන්ගේ ද (Dope Dyed) ලබාගත හැකිය.
නෙරවුම් ක්රියාවලියේ එක් අංගයක් ලෙස වර්ණ ඇතුළත් කිරීමේ පහසුකම ද මෙම නිෂ්පාදනාගාරය මගින් පිරිනමන තවත් සේවාවකි.
"ශ්රී ලංකාවේ ප්රථම නූල් නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප ආඩම්බර වනවා. යුරෝපයෙන් ආනයනය කරන ලද නවීනත ම යන්ත්රෝපකරණ වලින් සමන්විත මෙම නිෂ්පාදනාගාරය කර්මාන්තය නැවුම් මාවතකට යොමු කිරීමට සමත්වනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් BPPL සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කළේය.
"තවද, ගෝලීය ඇඟලුම් කර්මාන්තය වඩාත් තිරසර නිෂ්පාදන සහ ක්රියාවලි වෙත යොමු වෙමින් සිටින බැවින් අපගේ ප්රතිචක්රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් සඳහා ඉදිරියේදී විශාල ඉල්ලුමක් ඇතිවන බව ද සඳහන් කළ හැකියි" ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
Eco Spindles සමාගම ගෝලීය ප්රතිචක්රීයකරණ ප්රමිති සහතිකය (GRS), සීමිත ද්රව්ය ලැයිස්තු (RSL) සහ Oekotex සහතික 100 ඇතුළු ගෝලීය තත්ත්ව සහතික රැසකට අනුකූලව සිය නිෂ්පාදන සිදු කරයි.
ජර්මනියේ සහ ඉන්දියාවේ වසර පහළොවකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන විශේෂඥයන් සහ මෙහෙයුම්කරුවන් 40කට අධික ප්රමාණයකින් සමන්විත ශ්රම බලකායක් මගින් මෙම නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.
Video Story