CA වාර්ෂික සම්මාන උළෙලේදී හේලීස් වැවිලි සමාගම රනින් සහ රිදියෙන් පිදුම් ලබයි

    February, 11, 2019

    ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන CA සම්මාන උළෙලේදී වැවිලි කාණ්ඩය යටතේ අඛණ්ඩව පස්වන වරටත් රන් සහ රිදී සම්මාන දිනා ගැනීමට හේලීස් වැවිලි සමාගම සමත් විය.

    තලවකැලේ වැවිලි සමාගම සහ කැළණිවැලි වැවිලි සමාගම මෙවරත් රන් සහ රිදී සම්මාන දිනාගනිමින් වැවිලි කාණ්ඩය යටතේ තම විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. එසේම හේලීස් සමුහයේ තවත් අනුබද්ධිත සමාගම් හයක් තම සමාගම් නියෝජනය කරන කාණ්ඩ යටතේ සම්මාන දිනා ගැනීමට සමත් විය.

    හේලීස් වැවිලි සාමාගම විසින් දිනා ගනු ලැබූ සම්මාන පිලිබඳ අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි මහතා,”අප කරන සෑම කටයුත්තකම විශිෂ්ටත්වය සහ අඛණ්ඩ වර්ධනය සඳහා දැඩි කැපවීමක් කරන්නා වූ ආයතනයක් ලෙස හේලීස් වැවිලි සමාගම හඳුන්වා දෙන්න පුළුවන්. ආයතනික යහපාලනය සහ වගවීම පිළිබඳ ශක්තිමත් රාමුවක් පවත්වා ගැනීමට කැපවීම තුළ අපගේ කාර්යසාධනයේ සියලූ අංශ පිළිබඳව නිවැරදි සහ විනිවිදභාවයකින් යුතුව වාර්තා කිරීමට අප සමත් වී තිබෙනවා. එනිසා අපගේ සියලූ පාර්ශවකරුවන්ට විශිෂ්ටත්වය ලබා දීමට හැකියාව ලැබී තියෙනවා.”යැයි පැවසීය.

    මීට අතිරේඛව හේලීස් වැවිලි සමාගම තවත් සම්මාන රාශියක් දිනා ඇති අතර ,පරිසර කළමනාකරණය සහ සංරක්ෂණය වෙනුවෙන් අඛණ්ඩව පස්වන වරටත් ජනාධිපති පරිසර සම්මානය, 2018 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන මේ අතර වෙයි. එසේම තලවකැලේ තේ වතු සමාගමද ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ වැවිලි අංශය වෙනුවෙන් රන් සම්මාන ලැබූ අතර ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී තවත් සම්මාන පහක් ලැබීමට සමත් විය. එමෙන්ම එම කාණ්ඩය යටතේ දේශීය සමාගම් සමග තරග කල එකම වැවිලි සමාගමද එය වීම විශේෂත්වයකි.