වාහන මිල අඩුකරන්නට සමාගම් කල් මරන්නේ ඇයි ?

    October, 29, 2014

    2015 අයවැය යෝජනා වලින් මෝටර් රථ හා වෑන් රථවල මිල අඩුවන නිසා පැරණි බදු ක්‍රමයට මෙරටට ගෙන්වූ වාහන වලට රජයෙන් සහනයක් ලබාගැනීමේ සාකච්ඡා වාහන ආනයන සමාගම් ආරම්භ කර තිබෙන බවත් මේ නිසා තවමත් මෙරට වාහන අලෙවි කරන සමාගම් මෝටර් රථවල හා වෑන් රථවල මිල ගණන් අඩුකර නොමැති බවත් අනාවරණය වේ.

    අද උදෑසන විටත් මෝටර් රථ අලෙවියේ මෙරට ප්‍රධාන සමාගම් මෝටර් රථවල මිල ගණන් 2015 අයවැය යෝජනා වලට අනුව අඩුකර නොතිබූ අතර ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග වලින් අප වෙත හෙළි වන්නේ පැරණි බදු ක්‍රමයට ගෙනා වාහන මිල අඩුකර අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන නිසා එම පාඩු මග හරවා ගැනීමේ ක්‍රමයක් මෙම සමාගම් විසින් රජයෙන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

    රජය පාර්ශවයෙන් මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද අනාවරණය වේ.

    මෙරට වාහන අලෙවි කරන ප්‍රධාන සමාගම් කිහිපයකින්ම අපකළ විමසීමේදී ඔවුන් පැවසුවේ අයවැය යෝජනා වලට අනුව හයිබ්‍රීඩ් මොටර් රථ හැරණු කොට අනිකුත් මෝටර් රථවල මිල ඉදිරියේදී අඩුවීමට නියමිත නමුත් නව මිල ගණන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා පසුගියදා අප සමග සඳහන් කළේය.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඒ පිළිබඳව අප සමග සඳහන් කළේ මෙසේයි.
    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අඩුවෙනවා.“

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ මෙම බදු අඩුකිරීම නිසා වැඩියෙන්ම මිල අඩුවන්නේ වෑන් රථවල බවත් හයිඑස් වාහනයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බවයි.

    එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථවල මිල ගණන් ලක්ෂ දෙක තුනකින් අඩුවනු ඇතැයි හෙතෙම කීය.