COOP නිදහස්

    May, 29, 2023

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම දැනුම් දී සිටී.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී උදය කුමාර මහතා පවසන්නේ 2023 මැයි 25 දින පැවති ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාවේ 233 වැනි කමිටු හමුවේ දී මෙම තීරණය ගනු ලැබූ බව දැනුම් දී ඇති බවයි.

    ඒ අනුව 2023 මැයි 26 දින සිට බලපැවැත්වෙන පරිදි Cooperative Insurance Company PLC වෙත එහි ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කෙරෙනු ඇත.

    සමාගම සංස්ථාපනයේ දී දක්වා ඇති ආකාරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය පවත්වාගෙන යාමට Cooperative Insurance Company PLC අපොහොසත් වීම හේතුවෙන්, එහි ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් 2023 අප්‍රේල් 11 දින තීරණය කරන ලද අතර පසුව එම තහනම 2023 ජූනි 30 දක්වා දීර්ඝ කරන ලදී.

    මේ සම්බන්ධයෙන් Cooperative Insurance Company PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී උදය කුමාර මහතා වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේ දී මෙවැනි සිදුවීමක් යළි සිදුනොවීම පිණිස අවශ්‍ය සියලු පියවර ගන්නා බව සිය ගනුදෙනුකාරභවතුන් ඇතුළු සියලු පාර්ශවකරුවන් වෙත දැනුම් දෙන බවයි.