COVID-19 ප‍්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික සුව සේවකයින් ද ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් රජයට APHNH හි ප‍්‍රසාදය

    March, 3, 2021

    ශ්‍රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින COVID-19 ප‍්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික අංශයේ සුව සේවකයින්ද ඇතුළත් කරගැනීමට මෑතකදී රජය විසින් ගනු ලැබූ තීරණයට සිය ප‍්‍රසාදය පළ කරන බව පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටී. ඉදිරි සති කිහිපය තුළ දී තවත් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන APHNH සුව සේවකයින්, සෞඛ්‍ය පරිපාලකයින් හා සහාය කාර්ය මණ්ඩලය ආදි පුද්ගලික අංශයේ සියලූදෙනාට මෙම එන්නත්කරණ ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා රජය සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

    මේ පිළිබඳව අදහස් දක්වන APHNH සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘කොවිඞ්-19 ජාතික ප‍්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික අංශයේ වෛද්‍ය කාර්යමණ්ඩලය ද ඇතුළත් කරගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට හා ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරියට සංගමයක් ලෙස අපගේ කෘතඥතාව පළකිරීමට කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

    ගෝලීය වශයෙන් කොවිඞ්-19 එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේදී ඉදිරිපෙළ සුව සේවකයින් සඳහා එන්නත ලබා දීම පිළිබඳව රජයේ බලධාරීන්ට APHNH සිය කෘතඥතාව පළ කළේය. කෙසේවෙතත් පුද්ගලික අංශයේ සියලූම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සම්පූර්ණ එන්නත් මාත‍්‍රා තවමත් ලැබී නොමැති බවත් රටේ එන්නත් තොග වැඩිවත්ම ඉතිරි එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ද ඉතා ඉක්මනින් ඔවුන්ට ලබා දෙනු ඇති බවත් සංගමය බලාපොරොත්තුවෙන් සිටී.

    ‘‘අපගේ සේවකයින් සිදු කරන කාර්යභාරය අවතක්සේරු නොකිරීම පිළිබඳව අප කෘතඥ වන අතර මෙම එන්නත්කරණ වැඩසටහනන මගින් ආවරණය කළ හැක්කේ පුද්ගලික අංශයේ සීමිත වෛද්‍යවරුවරුන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් බව අප අවබෝධ කරගත යුතුයි. ඉතා ඉක්මනින් එන්නත් මාත‍්‍රා තොග මෙරටට ලැබීමත් සමඟම මෙම වැඩසටහන තවත් පුළුල්ව ක‍්‍රියාත්මක වී පරිපාලන සේවා ඇතුළු පුද්ගලික අංශයේ අනෙකුත් සුව සේවා කාර්ය මණ්ඩල වෙත ද එය ව්‍යාප්ත වනු ඇති බව අප විශ්වාස කරනවා. සෞඛ්‍ය අංශයේ සිටින සෑම සාමාජිකයෙකුම ඉදිරිපෙළ විරුවන් ලෙස අප සලකනවා.’’ යනුවෙන් ආචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙරට කොවිඞ්-19 වසංගත ප‍්‍රතිචාරයේදී පුද්ගලික අංශය සිදු කළ කාර්යභාරය හේතුවෙන් ඔවුන්ගේ සුව සේවකයින් ද මෙම වෛරසයට වැඩි වශයෙන් නිරාවරණය වූ අතර එවැනි අවස්ථාවක රජය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉතා කාලෝචිත බව සංගමය සඳහන් කළේය. වසංගතයක් මධ්‍යයේ රෝගීන්ට නිසි වේලාවට සුව සේවා වෙත අඛණ්ඩව ප‍්‍රවේශය ලබා දීමට අමතරව කොවිඞ්-19 හේතුවෙන් ජාතික සෞඛ්‍ය පද්ධතිය මත පැටවී තිබෙන බර අවම කිරීම සඳහා පුද්ගලික අංශය විසින් අතරමැදි සෞඛ්‍ය සේවා පහසුකම් සලසමින් සිදු කරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ද වැඩි කරනු ලැබීය.

    ‘‘අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ පුද්ගලික අංශය විසින් රටේ වසංගත ප‍්‍රතිචාරය සඳහා ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දායකත්වය ලබා දුන් අතර අවශ්‍ය වූ විට එය නැවත කිරීමට අප සූදානම්. මෙම එන්නත්කරණ වැඩසටහනේදී ඉදිරියටත් රජය අපගේ සේවකයින්ට ප‍්‍රමුඛත්වය ලබා දෙනු ඇති බවට අප විශ්වාස කරනවා. එමගින් රට සුරක්ෂිත කිරීම සඳහා අපගේ කාර්යභාරය අඛණ්ඩව සිදු කිරීමට අපට හැකි වේවි.’’ ආචාර්ය පීරිස් මහතා අවධාරණය කළේය.

    දිවයින පුරා සිදු කරනු ලබන කොවිඞ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ පරිපාලන කටයුතු සඳහා රජයට සහාය වීමට පුද්ගලික අංශය සූදානමින් සිටින බව ද ආචාර්ය පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය. රජයේ ස්ථාපිත මධ්‍යස්ථාන සමඟ එක්ව පුද්ගලික රෝහල්වලටද කොවිඞ්-19 එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස කටයුතු කිරීමට අවසර ලබා දෙනවා නම් මෙම වැඩසටහන වඩාත් පුළුල්ව ඉදිරියට පවත්වා ගෙන යාමට හැකි වනු ඇති බව APHNH සඳහන් කරයි.