COVID -19 වෛරසය ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කෙරෙහි බලපෑම

    February, 25, 2020

    ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසිනි

    නවල් කොරෝනා වෛරසයෙහි (COVID-19) පැතිරයාම ලෝක ආර්ථිකය වෙත බලපෑම් කරමින් පවතින අතර විශේෂඥයින් අපේක්ෂා කරන්නේ එය 2002-03 කාලයේ ඇතිවූ සාර්ස් වෛරසයේ බලපෑම අභිබවනු ඇති බව ය. චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය 2019 අවසන් කාර්තුවේදී 6% ක් වුවද වෛරසයේ පැතිර යාම හේතුවෙන් 2020 පළමු කාර්තුවේ වර්ධන වේගය 4.5% ක තෙක් කැපී පෙනෙන මන්දගාමිත්වයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනය ලොව දෙවන විශාලතම තෙල් පාරිභෝගිකයා වන බැවින් මෙම වර්ධන මන්දගාමිත්වය ගෝලීය තෙල් ඉල්ලූම මත ද බලපෑම් එල්ල කරයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පළමු කාර්තුව තුළ ගෝලීය තෙල් ඉල්ලූමේ පහත වැටීමක් පුරෝකථනය කර ඇති අතර එය දශකයක් තුළ සිදුවූ පළමු පහත වැටීම ය.

    චීන ආර්ථිකයට සහ ගෝලීය සැපයුම් දාමයන්හි සිදුවන මෙම කඩාවැටීම වෙළඳ හා සංචාරක ක්ෂේත‍්‍රයන් අතින් ගත් කල ශ‍්‍රී ලංකාවට ද බලපෑම් එල්ල කරයි. 2019 දී චීනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ආනයන හවුල්කරු බවට පත්විය. චීන සංචාරකයින් 2019 දී මෙරට තෙවන විශාලතම ප‍්‍රභව වෙළඳපොළ විය.  මෙම පසුබිම තුළ, COVID 19 හි ව්‍යාපාර බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ලංකා වාණිජ්‍ය මණ්ඩලය එහි සාමාජිකයන් අතර මත විමසුමක් පැවැත්වීය.

    සමීක්ෂණයට සහභාගී වූ සමාගම් වලින් 49% ක් කියා සිටියේ තම ව්‍යාපාරවලට COVID -19 බලපෑම් කර ඇති බවයි (වගුව 1 බලන්න). සාමාජිකයින්ගෙන් 60% ක් ප‍්‍රකාශ කළේ 2019 වසරේ එම කාලයට (ජනවාරි 24 - පෙබරවාරි 14 අතර කාලයට) සාපේක්ෂව පසුගිය සති තුන තුළ වෛරසය හේතුවෙන් ඔවුන්ගේ විකුණුම් කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත්, සමීක්ෂණය වෙත ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් 40% ක් ප‍්‍රකාශ කළේ එම කාලය තුළ COVID -19 හි බලපෑම හේතුවෙන් තම විකුණුම්වල පහත වැටීමක් (0-20%, 20-40%, 40-60% අතර සහ 60% ට වැඩි) සිදුව ඇති බවයි (වගුව 2 බලන්න).

     

    ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් විසඳීමට උත්සාහ කරන ප‍්‍රධාන කරුණ වන්නේ සැපයුම් දාම සහ ප‍්‍රවාහන සේවා සැපයීමට ඇති බාධාවයි. මේ සම්බන්ධයෙන් සමීක්ෂණයට ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් 43% ක් ප‍්‍රකාශ කළේ චීනයෙන් භාණ්ඩ ආනයනය මන්දගාමී වී ඇති බවයි. 27% ක් පවසන්නේ තවමත් බලපෑමක් නොමැති බව හැඟී ඇති නමුත් ඉදිරි සති කිහිපය තුළ සැපයුම් කඩාකප්පල් වීමක් අපේක්ෂා කරන බවයි. (3 වන වගුව බලන්න). සාමාජිකයින්ගෙන් 65% ක් ප‍්‍රකාශ කළේ COVID -19 හේතුවෙන් තම සංවිධානයේ ව්‍යාපාරිකමය විදේශ සංචාර සීමා වී ඇති බවයි (4 වන වගුව බලන්න). ඒ අනුව ගත් කල, සාමාජිකයින් ප‍්‍රකාශ කළේ ආසියානු කලාපයේ අනාගත රැස්වීම්, උත්සව සහ වැඩසටහන් ආදිය අවලංගු කර ඇති බවයි. රට තුළට සහ පිටතට යන ගමන් වෙත ඇති සමස්ත බලපෑම සමීක්ෂණයට ප‍්‍රතිචාර දැක්වූවන් සැලකිල්ලට ගත් ප‍්‍රධාන කරුණක් විය.

    කලාපයෙන් ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කිරීම ප‍්‍රමාද වීමෙන් ඇති වූ බලපෑම සමීක්ෂණයේ ප‍්‍රධාන ඵලයක් විය. එහෙත්, ඇතැමුන් කියා සිටියේ චීන අලූත් අවුරුද්දට සූදානම් වෙමින් තොග ගබඩා පුරාවාගත් නිසා භාණ්ඩ ලැබීම ප‍්‍රමාද වීම අවම කර ගත හැකි බවයි. කෙසේ වෙතත්, ප‍්‍රමාද වීම සහ පිරිවැය අනුව මාර්තු සහ අපේ‍්‍රල් මාස සඳහා වන බලපෑම සැලකිල්ලෙන් නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය වේ. COVID-19 පැතිරීම හා සම්බන්ධ වැරදි තොරතුරු නිසා ඇතිවන ව්‍යාපාරික බලපෑම සම්බන්ධයෙන් ද සමීක්ෂණ ප‍්‍රතිචාරකයින් සැලකිලිමත් විය.

    අවිනිශ්චිතතාව තිබියදීත්, ශ‍්‍රී ලංකාව වැනි රටවලට ලොව වෙළඳ හා සැපයුම් දාම යථා තත්ත්වයට කරමින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ද අවස්ථාවක් තිබේ. ඒ සම්බන්ධයෙන් සමීක්ෂණය වෙත ප‍්‍රතිචාර දැක්වූවන් අපනයන වර්ධනය සඳහා හිතකර පරිසරයක් සැපයීමට ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවශ්‍යතාව අවධාරණය කළහ.