CRIB එකේ නම තියෙන ව්‍යාපාරිකයින්ට කබ්රාල්ගෙන් සුභ ආරංචියක්

    October, 28, 2019

    මේ වන විට ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) සිය නම සටහන් වී ඇති ව්‍යාපාරිකයින් හට, තම ව්‍යාපාර කරගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්, මේ හේතුවෙන් CRIB එක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා (25) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ අදහස් දැක්වීය.

    “සර් අපේ නම CRIB එකේ. අපිට ලෝන් එකක් ගන්න බැහැ. අපිට මොනවාද කරන්නේ, කියලා ජනතාව අපෙන් අහනවා.“

    “අපි CRIB එක ප්‍රතිසංස්කරණය කරනවා. අපි ගේනවා හොඳ ප්‍රතිඵල පෙන්වන යම් යම් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම්. නමුත් වත්මන් ආර්ථික පසුබැස්ම හමුවේ තමන්ගේ ණය ගෙවීමේ අපහසුතා ඇති අයට ආරක්ෂාවක් දිය යුතුයි. ඔවුන්ට ව්‍යාපාර කිරීමට යම් යම් සහන දිය යුතුයි.“

    “අපි පළමුවෙන්ම ඒ සඳහා විලම්භන කාලයක් (Moratorium) ලබා දෙනවා. ඒ ණය ගෙවන්න නොවෙයි. ඔබට ඔබේ ණය පසුව ගෙවන්න පුළුවන්. අපි ඔබේ ණය මාස 18ක කාලයකට නවතා (freeze) තබනවා. ඔබතුමන්ලා මාස 18 ක් තුළ දී පොළිය පමණක් ගෙවන්න. බැංකුවලට, මූල්‍ය ආයතනවලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදියට මේ ක්‍රමවේදය අපි සැලසුම් කරලා තියෙන්නේ.“

    “ඔබට සහනයක් මෙයින් ලැබෙනවා. ප්‍රාග්ධනයෙන් කොටසකුත් ඔබ අත තිබෙනවා. ඔබට ඔබේ ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. මෙය සම්පූර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුමේ කොටසක්.“

    “දෙවනුම අපි සහතික වෙනවා පොළී අනුපාතික පහතට ගෙන එන බවට. පවතින පොළී අනුපාතික යටතේ ජනතාවට ව්‍යාපාර කරන්න බැහැ.“

    “2014 වසරේ දී AWPLR (Average Weighted Prime Lending Rate) තිබුණේ 6.2%ට. එම අනුපාතිකයට බොහෝ දෙනෙකුට මුදල් ණයට ගන්න පුළුවන් වුණා. ඔබේ අවදානම තිබුණේ පහළ මට්ටමක. අද එය 12% මට්ටමක තිබෙන්නේ. ඊට අනුව හැම දෙනාටම වැඩිපුර ගෙවන්න වෙලා තිබෙනවා.“

    මේ අතර පසුගිය සෙනසුරාදා (26) ගම්පහ දී පැවති සම්මන්ත්‍රණයක දී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ, මෙම කටයුත්ත සඳහා රුපියල් බිලියන 50 ක අරමුදලක් ස්ථාපිත කරනු ලබන බවයි. මේ හරහා ව්‍යාපාර ප්‍රතිංස්කරණය කිරීම අවශ්‍ය සහාය ලබා දෙන බව ද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.