මේ කාලගුණ සමයේදී බෝයාව ගොඩගන්න බෑ

    July, 2, 2014

    මුහුදේ සිට ගොඩබිමට ඛනිජ තෙල් ප්‍රවාහනය කරන බෝයාවේ ඇතිවී තිබෙන දෝෂය මේ කාලගුණ සමය තුළදී යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වනු ඇතැයි අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා පැවසුවේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙහි පිළිසකර කිරීම් වලට බාධාවක් වනු ඇති බවයි.

    මෙයට විසඳුමක් ලෙස කුඩා නැවකින් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමට අදහස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    මුහුදේ සිට ගොඩබිමට ඛනිජ තෙල් ප්‍රවාහනය කරන බෝයාවේ රබර් නලයක් අබලන්ව තිබෙන අතර එය පිළිසකර කිරීමට මෙම බෝයාව මිලදීගත් ඉතාලි සමාගම සමගත් එය නිෂ්පාදනය කළ සමාගම සමගත් ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට සාකච්ඡා අරඹා තිබේ.

    ඛනිජ තෙල් ගොඩබෑමට නොහැකිව නැව් දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගූරම් ලා තිබෙන අතර තවත් ඛනිජ තෙල් රැගත් නැවක් හෙට අනිද්දාම කොළඹට පැමිණීමට නියමිතය.

    මෙම නැව් සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු අදාළ නැව්වල රක්ෂණයන් මගින් පියවාගත හැකිදැයි මේ වනවිට සොයා බලමින් සිටින බව සිරිසේන අමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.