Deutsche Post DHL සමූහය මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා SOS ළමා ගම්මානය සමග අත්වැල් බැඳ ගනී

    January, 7, 2019

    තරුණ රැකියා නියුක්තිය වෙනුවෙන් කුසලතා සහ දක්ෂතා වැඩසටහනක් හඳුන්වාදෙයි

    ලොව ප්‍රමුඛත ම තැපැල් සහ ලොජිස්ටික්ස් සමූහයක්වන Deutsche Post DHL (DPDHL) සමූහය, මෙරට ආර්ථික අපහසුතාවලින් පෙළෙන තරුණ-තරුණියන් හට රැකියා අවස්ථා උදාකරමින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීම සඳහා SOS ළමා ගම්මානය සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

    සංවර්ධන වෙමින් පවතින රටවල තරුණ ප්‍රජාවගේ පුද්ගලික සහ වෘත්තීය කුසලතා නගාසිටුවීම සඳහා DPDHL සමූහය 2011 වසරේ ආරම්භ කළ ගෝලීය සහයෝගීතාවයේ එක් අංගයක් ලෙස මෙරට SOS ළමා ගම්මානය සමග සුවිශේෂී කුසලතා සංවර්ධන වැඩසටහනක් මෙසේ ආරම්භ කෙරිණි.

    එහි පළමු අදියර ලෙස මෙම තරුණ රැකියා කුසලතා සහ ශක්‍යතා වැඩසටහන 2018 වසරේ සිව්වැනි කාර්තුවේ පිළියන්දල SOS ළමා ගම්මානයේදී ඇරඹිණි. එම වැඩසටහන අඛණ්ඩව වසරින් වසර ක්‍රියාත්මක වීමටද නියමිත ය. රැකියා සොයා ගැනීමේ කුසලතා, පුද්ගලික පරිණතභාවය සහ සමාජ කුසලතා යන ක්ෂේත්‍ර ඔස්සේ පුහුණුව ලබාදෙමින් තරුණ-තරුණියන් හට රැකියා සොයා ගැනීමේ අවකාශ පුළුල් කිරීම මෙහි අරමුණයි.

    "තරුණ ප්‍රජාවගේ අනාගත සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යවන රැකියා කුසලතා පුළුල් කිරීම සඳහා ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමට අප සූදානමින් සිටිනවා. ස්වාධීන සහ තිරසර ජීවනෝපාය මාර්ගයක් ළඟාකර ගැනීම සඳහා මෙම වැඩසටහන හරහා ඔවුන්ට අවශ්‍ය කුසලතා ලබාදීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් DHL Express Sri Lanka සමාගමේ ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය.

    පිළියන්දල SOS ගම්මානයේ රැකවරණය ලබන වයස අවුරුදු 15-20 වයසේ පසුවන තරුණ-තරුණියන් 20-25 ප්‍රමාණයකට මෙම සැසි සඳහා සහභාගී වීමේ අවස්ථාව උදාවිය.  DHL Express Sri Lanka සහ DHL Global Forwarding Sri Lanka සමාගම්වල කාර්යමණ්ඩල සාමාජිකයෝ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූහ. ඊට අමතරව තෝරා ගත් වෘත්තිකයන් ද මෙම තරුණ-තරුණියන්ට මගපෙන්වීමට කටයුතු කිරීම කැපීපෙනේ.

    "මෙම තරුණ ප්‍රජාව සඳහා අපගේ වැඩසටහන තුළින් රැකියා අවස්ථා පුළුල් කිරීමට හැකිවනු ඇති බව අප තරයේ විශ්වාස කරනවා. මෙම සිසුන් අධීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් තම කාලය කැප කිරීමට ඉදිරිපත් වූ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ට මා හදපිරි ස්තුතිය පිරිනමනවා" DHL Global Forwarding Sri Lanka සමාගමේ ප්‍රධාන කළමනාකාර නජීබ්-උර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

    මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් මෙරට SOS ළමා ගම්මානයේ නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා සඳහන් කළේ මෙරට අනාගතය රඳා පවතිනුයේ අද දින දරුවන් සහ තරුණ-තරුණියන් අත බවය. වසර 37කට අධික කාලයක් පුරා SOS ළමා ගම්මානය මෙරට දරුවන් 41,000කට අධික සංඛ්‍යාවකට ආදරය, සෙනෙහස සහ රැකවරණය ලබාදෙමින් දෙපයින් නැගී සිටීම සඳහා අවශ්‍ය අඩිතාලම යෙදූ බව ද ඒ මහතා අවධාරණය කළේය. "DHL සමාගමේ අධීක්ෂණ සහ අධ්‍යාපන වැඩසටහන හරහා අපගේ තරුණ ප්‍රජාවට රැකියා ලොව තුළ අත්දැකීම් සහ අවස්ථා හිමිකර ගැනීමට හැකි වනවා. එමෙන්ම රැකියා වෙළඳපලට පිවිසීම සඳහා ඔවුන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ කුසලතා වර්ධනය කර ගැනීමට ද මෙමගින් හැකිවනවා"

    පාරිසරික රැකවරණය (GoGreen), ආපදා කළමනාකරණය (GoHelp) සහ අධ්‍යාපනය (GoTeach) යන DHL සමූහයේ මූලික ප්‍රජා සත්කාරක ක්‍රමෝපායන් තුන අනුව DHL Sri Lanka සමාගම, තම සමාජ සත්කාර කටයුතු ක්‍රියාත්මක කරයි. අධ්‍යාපන අවස්ථා සහ රැකියා නියුක්තිය වර්ධනය කිරීම සඳහා සහාය වන මෙම වැඩසටහන ද එහි GoTeach කාණ්ඩයට අයත් ව්‍යාපෘතියකි.

    පසුගිය වසර කිහිපය පුරා DHL Sri Lanka සමාගම මෙරට ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසකට දායකත්වය ලබාදී තිබේ. 2016 වසරේදී පිළිකා රෝගීන් වෙනුවෙන් කි.මී 670ක පාගමන සඳහා Trail Sri Lanka සමග අත්වැල් බැඳ ගැනීම, ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, 'Mother Lanka' සුබසාධන පදනම සමග අත්වැල් බැඳ ගනිමින් 2017 වසරේදී සිදුකළ ව්‍යාපෘති, ගංගොඩවිල ළමා නිවාසයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කිරීම සහ 2015 වසරේදී කොළඹ මානසික රෝහලේ ව්‍යාපෘති රැසක් දියත් කිරීම ඒ අතරින් කැපී පෙනෙයි.

     

    සේයා රූ සටහනවමේ සිට දකුණට - DHL Global Forwarding Sri Lanka සමාගමේ  ප්‍රධාන කළමනාකාර නජීබ්-උර් රහුමාන්, SOS ළමා ගම්මානයේ නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි සහ DHL Express Sri Lanka සමාගමේ ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා යන මහත්වරු