DFCC බැංකුවේ නවතම වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත්කෙරේ

    April, 21, 2022

    කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත් DFCC බැංකුව සිය 2021 මූල්‍ය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කළේ ය. DFCC බැංකුව විසින් මීට වසර 5 කට පෙර හඳුන්වා දෙන ලද සුවිශේෂී බහුවිධ ආකෘතිය අනුව මෙම වාර්ෂික මූල්‍ය වාර්තාව සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය වාර්තාකරණ ආකෘතිය නිසා, නවීන ඩිජිටල් තාක්ෂණික ප්‍රවණතාවන්ට සමගාමීව, තම පාර්ශවකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින් සහ ඔවුන්ගේ එකිනෙකට වෙනස් වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය වාර්තාකරණය සිදුකිරීමට DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ.

    අවශ්‍ය තොරතුරු පහසුවෙන් සොයාගැනීමට, වාර්තා කර තබාගැනීමට සහ හුවමාරු කරගැනීමට හැකි වන ආකාරයට HTML ක්‍රමයට පිළියෙල කළ පරිපූර්ණ, ඒකාබද්ධ වාර්ෂික මූල්‍ය වාර්තාවක් වශයෙන් DFCC බැංකුවේ 2021 වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත. ‘සෙවුම් යන්ත්‍ර’ (Search Engines) වලට වඩාත් හොඳින් ගැළපෙන මෙම ආකෘතිය, වැඩි පිරිසකට මෙම මූල්‍ය වාර්තාව පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දෙයි. ‘Landscape’ ආකාරයට ‘Coffee Table’ පොතක් ලෙස පිළියෙල කර ඇති මෙය, තරගකරුවන්ගේ මූල්‍ය වාර්තා අතරින් කැපීපෙනෙන ලෙස වෙනස් වේ. මුද්‍රිත පොතක් ලෙස මෙන්ම PDF සහ CD වශයෙන්, ලේඛනමය හා ව්‍යස්ථාපිත ගොනුගත කිරීම් අවශ්‍යතා සපුරාලන පරිදි මෙය ප්‍රකාශයට පත්කර ඇත. ඕනෑම කෙනෙකුට මෙය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා වලින් පරිශීලනය කළ හැකි අතර, මෙය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සිදුකළ යුතු වන වැදගත් යාවත්කාලීන කිරීම් ‘Annual Report Updater Portal’ සහ ‘Annual Report Updater App’ ඔස්සේ සිදුකෙරේ.

    ‘Designed to Excel’ යන තේමාව මුල්කරගෙන DFCC බැංකුවේ 2021 වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඩිජිටල් Tetris ක්‍රීඩාවක් සිහිගන්වන ආකාරයට එය සැලසුම් කර ඇත.

    “අපගේ පාර්ශ්වකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තොරතුරු ලබාගැනීමේ අවස්ථාව සලසා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මේ ආකාරයට ප්‍රථම වරට අපගේ වාර්ෂික මූල්‍ය වාර්තාවේ PDF පිටපතක් Landscape ආකාරයට සැලසුම් කර ප්‍රකාශයට පත්කෙරුණේ එහි ඉදිරි පියවරක් වශයෙනුයි. අපගේ පාර්ශ්වකරුවන් බහුතරයක් මෙවැනි ලේඛන පරිශීලනය කරන්නේ ටැබ්ලට් හෝ ඩෙස්ක්ටොප් පරිගණක භාවිතයෙන් Landscape ආකාරයට බව අපගේ සමීක්ෂණ වලදී අපට පෙනී ගියා. ඩිජිටල් තාක්ෂණයන්ට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා අප ගෙන ඇති තීරණයට අපගේ පාර්ශ්වකරුවන් වෙතින් ඉතා යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා. අපගේ 10,000 කට අධික කොටස් හිමිකරුවන් අතරින් මෙවර සාමාන්‍ය තැපෑලෙන් මුද්‍රිත පිටපතක් හෝ CD පිටපතක් ඉල්ලා ඇත්තේ 10% කටත් වඩා අඩු පිරිසක්. මේ ප්‍රවේශය නිසා දශකයකට වැඩි කාලයක් තිස්සේ කඩදාසි සහ කාර්ය සම්පාදන පහසුකම් භාවිතය අවම කරමින්, වියදම් ඉතිරි කරමින් සහ කාර්යක්ෂමතාව වැඩි කර ගනිමින්, කාබන් ශූන්‍යත්වය වෙත සමීප වීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”  DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ ප්‍රධාන මූල්‍ය නිලධාරී චින්තිකා අමරසේකර මහත්මිය පැවසුවා ය.

    ඩිජිටල් තාක්ෂණයට මුල්තැන දෙන DFCC බැංකුවේ වාර්තාකරණ සම්ප්‍රදාය එහි ප්‍රධාන ඩිජිටල් ක්‍රමෝපායෙහිම දිගුවකි. මෙම ක්‍රමෝපාය යටතේ 2021 වසර ‘ඩිජිටල් පරිවර්තනයේ වසරක්’ ලෙස නම්කිරීමට DFCC බැංකුව මීට පෙර කටයුතු කළේ ය. මෙම ක්‍රමෝපායට සමගාමීව DFCC බැංකුව විසින් 2021 වසර පුරාම විවිධාකාර වූ ඩිජිටල් හඳුන්වා දීම් හා වැඩිදියුණු කිරීම් සිදුකරන ලදි. බැංකුවේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කරන අතරම ඩිජිටල් සහ ස්වයං-බැංකුකරණ පහසුකම් වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසන නව ප්‍රධාන බැංකුකරණ පද්ධතියක් හඳුන්වා දීම මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම DFCC බැංකුවේ අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ සේවාවන් සඳහා ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමේ විධිවිධාන සඳහා මාර්ගගත ක්‍රමවේදයන් හඳුන්වා දෙන ලදි. මෙම වැඩිදියුණු කිරීම් හේතුවෙන් 2021 වසර තුළදී ‘DFCC Virtual Wallet’ භාවිතා කරන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 48% කින් වර්ධනය වූ අතර මාර්ගගත ක්‍රමයට ගිණුම් විවෘත කළ සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කළ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 280% කින් ඉහළ ගියේ ය. එමෙන්ම ඩිජිටල් නාලිකා හරහා සම්පූර්ණ කරන ලද ගනුදෙනු ප්‍රමාණය 2021 වසරේදී 1,300% ක් වැනි දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීම, DFCC බැංකුවේ ඩිජිටල්කරණ වැඩසටහනේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.

    චින්තිකා අමරසේකර (ජ්‍යෙෂ්ඨ උප සභාපති/ ප්‍රධාන මූල්‍ය නිලධාරී )