DFCC බැංකුව Google Workspace භාවිතා කිරීමට ගත් තීරණය අති-සාර්ථකයි

    June, 3, 2021

    පසුගිය වසරේ මැයි මාසයේදී DFCC බැංකුව, Finetech Sri Lanka සමග එක්වී Google Workspace (මීට පෙර G Suite ලෙස හඳුන්වන ලද) භාවිතා කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එය භාවිතා කිරීම ආරම්භ කරන ලද ප්‍රථම අවස්ථාව එය විය. මෙම හවුල්කාරීත්වය යටතේ ස්වයංක්‍රීයකරණ (Automation) ව්‍යපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මේ වනවිට ගනුදෙනුකරුවන්ටත් කාර්ය මණ්ඩලයටත් ප්‍රතිලාභ රැසක් සැලසීමට DFCC බැංකුව සමත් වී ඇත.

    බාහිර පරිවර්තනයන් ඇතිකිරීමට නම් සමාගම අභ්‍යන්තරයේ ඩිජිටල් පරිවර්තනයක් ඇතිකිරීම අවශ්‍ය බව වටහාගත් DFCC බැංකුව, එම ඉලක්කය සපුරා ගන්නා අතරම, සිය දැක්ම වන '2025 වසර වන විට මෙරට පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල් භාවිතාව අතින් විශිෂ්ටතම බැංකුව' බවට පත්වීමේ අරමුණ පෙරදැරිව, ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ තලයේ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා, මේ ආකාරයට Google Workspace භාවිතා කිරීම ආරම්භ කළේ ය. Google Workspace Enterprise Edition හි ඇතුළත් විශේෂාංග නිසා බැංකුවේ ක්‍රියාවලි රාශියක් ස්වයංක්‍රීයකරණය කිරීම පහසු වී ඇති අතර, ඒ හේතුවෙන් මිනිස් දෝෂ අවම කරමින්, වඩාත් වේගවත් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට DFCC බැංකුවට හැකියාව ලැබී ඇත. මේ නිසා DFCC බැංකුව සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අතර ඇති ජනප්‍රියත්වද ඉහළ ගොස් තිබේ.

    මෙය ප්‍රායෝගිකව භාවිතා වන එක් අවස්ථාවක් වන්නේ ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියයි (Fee Reversal approvals process). Google Workspace භාවිතයෙන් සැලසුම් කර ඇති ක්‍රියාවලි මගින්, DFCC ඇමතුම් මධ්‍යස්ථානය ඔස්සේ ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ගාස්තු සංශෝධන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙන්ම ඉල්ලීම් වලට අදාළ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වාර්තා පවත්වා ගනිමින්, නිසි වෙලාවට සේවාවන් ලබාදීමට මෙමගින් හැකිවන අතර, එය සමස්ත පාරිභෝගික අත්දැකීම පැහැදිලිවම වැඩිදියුණු කරන පියවරකි.

    ඉදිරියේදී 'Credit Card Delivery Tracker' ක්‍රමවේදයක් හඳුන්වා දීමටද DFCC බැංකුව කටයුතු යොදා ඇත. මෙමගින් ගනුදෙනුකරුවන් වෙතට ක්‍රෙඩිට් කාඩ්පත් ගෙනගොස් භාරදීමේ ක්‍රියාවලිය එසැණින් පරීක්ෂා කිරීමට අවස්ථාව හිමි වේ. අතිරේක ආරක්ෂක පියවරක් ලෙසද සැලකිය හැකි මෙම ක්‍රියාවලිය මගින් වංචාසහගත ක්‍රියා සිදුවීමේ ඉඩකඩ තවදුරටත් අවම කරයි. මෙම Tracker ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග අදාළ ගනුදෙනුකරුවන්ට දැනුම් දීම් සිදුකිරීම, ප්‍රවාහන ක්‍රියාවලියේ ප්‍රමාදයන් හඳුනා ගැනීම සහ කුරියර් සේවාවන්ට දැනුම් දීම වැනි, එතෙක් කාර්ය මණ්ඩලය මගින් සිදුකළ කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත.

    මෙතෙක් කල් ක්‍රියාත්මක වූ, ලිපිලේඛන පදනම් කරගත් රාජකාරි ක්‍රමය වෙනුවට ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීමට හැකිවීම DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයටද ඉමහත් පහසුවක් වී තිබේ. රථවාහන ඉල්ලුම් කළමනාකරණ අයදුම්පත්‍රය (Vehicle Requisition Management application) මේ සඳහා උදාහරණයක් ලෙස ගත හැක. මෙමගින් කාර්ය මණ්ඩලයට තම රාජකාරි කටයුතු සඳහා රථවාහන ඉල්ලුම් කර, නිසි අවසරය සමගින් එම රථවාහන ලබාගත හැකි වේ. මෙමගින් බාහිර රථවාහන කුලී පදනම මත ලබාගැනීමකින් තොරව, ලැබෙන ඉල්ලීම් අනුව බැංකුව සතු රථවාහන එකතුව වඩාත් හොඳින් කළමනාකරණය කරමින්, අදාළ ඉල්ලීම් කාර්යක්ෂම ලෙස සපුරාලීමට DFCC බැංකුවේ ප්‍රවාහන අංශයට හැකියාව ලැබී ඇත. Google Maps භාවිතයෙන් නිර්මාණය කර ඇති, මාර්ගගත ක්‍රමයට වාහන ඇති ස්ථාන හඳුනාගැනීමේ ක්‍රමවේදය (in-built online vehicle tracker) මෙය තවදුරටත් කාර්යක්ෂම කරන පියවරක් වී තිබේ.

    මීට අමතරව, නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට අදාළව, පුද්ගලික ලිපිගොනු පිරික්සුම් ලැයිස්තු ක්‍රමවේදයක් (Personal File Checklist application) ක්‍රියාවට නංවා තිබේ. මේ ඔස්සේ නව සාමාජික සාමාජිකාවන් වෙතින් ලබාගත් ලිපිලේඛන සම්බන්ධ වාර්තා පවත්වා ගැනීමටද හැකියාව ලැබෙන අතර, මේ සියල්ල මානව සම්පත් අංශයේ කටයුතු වඩාත් පහසු කරයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. "ඩිජිටල්කරණය යනු අපට ඇති තෝරාගැනීමක් නොව, අනිවාර්යයෙන් සිදුවිය යුතු පරිවර්තනයක් කියා DFCC බැංකුව විශ්වාස කරනවා. නව තාක්ෂණයක් භාවිතයට ගන්නා සෑම අවස්ථාවක්ම මෙම පරිවර්තනයේ ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. Google Workspace හි ඇතුළත් මෙවලම් මගින් ලැබෙන සේවාවන් ඔස්සේ ඉදිරියේදී අපගේ පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය වගේම කාර්ය මණ්ඩලයේ තෘප්තියත් බෙහෙවින් ඉහළ යාවි කියා අප සිතනවා."