Disrupt Asia 2017 එළි දකී

    May, 17, 2017

    ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නව ව්‍යවසායකයන් සඳහාවන ප්‍රමුඛත ම උළෙලවන Disrupt Asia 2017 සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජුලි මස 12 වනදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ICTA, පසුගිය වසරේදී Disrupt Asia සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී ලද සාර්ථකත්වය තුළින්, මේ වසරේදී ද ශ්‍රී ලාංකේය ව්‍යවසාය පද්ධතියේ වර්ධනය සහ ඉදිරි ගමන සඳහා සිය දායකත්වය ලබා දීමට අපේක්ෂා කරයි. විවිධ අංශ නියෝජනය කරන කීර්තිමත් දේශකයන්, උපදේශකයන්, ආයෝජකයන් මෙහිදී සිය අදහස් බෙදාහදා ගැනීමට නියමිත අතර, නවෝත්පාදන නව ව්‍යවසාය කිහිපයක් ද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු මෙහිදී ප්‍රදර්ශනය කරයි.

    ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නන් හට ව්‍යවසාය පද්ධතියේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, ජනමත නායකයන් සමග මෙන්ම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ජාලය සමග ද සම්බන්ධ වෙමින් සිය ව්‍යාපාරික ගමන්මගේ අනාගතය වඩාත් යහපත් කර ගැනීමට මෙම ප්‍රදර්ශනය මනා පිටිවහලක් වෙයි.

    නව ව්‍යවසායකයන් ප්‍රධාන පෙළේ සමාගම් සමග සම්බන්ධ කිරීම හරහා තරුණ පරපුරට අවශ්‍ය දැනුම ඔවුන් හට ලබා දීම ICTA ආයතනය මෙම ප්‍රදර්ශනය සමග සම්බන්ධ වීම තුළින් අපේක්ෂා කරන ප්‍රධානත ම ඉලක්කයයි.

    "නව ව්‍යවසායකයන් සතු නවෝත්පාදන ශක්‍යතාව මෙන්ම, ඔවුන් විසින් උත්පාදනය කරනු ලබන නව රැකියා අවස්ථා සහ ව්‍යාපාරික වටපිටාවට ඔවුන් එක් කරන තරගකාරීත්වය හේතුවෙන් ඔවුන් ඕනෑම රටක ආර්ථික වර්ධනය සඳහා අතිශය වැදගත් වේ. එහෙත් ඒ සඳහා වඩාත් සවිමත් සහ ස්ථාවර ව්‍යවසාය සහයෝගී පද්ධතියක් ගොඩනැගිය යුතුය. එම ඉලක්කය ජය ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ ව්‍යවසායකයන්, ආයෝජකයන්, උපදේශකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මාධ්‍ය සගයන් යන සියලු ම පාර්ශව එකම වේදිකාවක් මතට ගෙන ඒම Disrupt Asia සම්මන්ත්‍රණයේ සහ ප්‍රදර්ශනයේ විශේෂත්වයයි. මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන එවැනි උළෙලක් ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා" යනුවෙන් ICTA ආයතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සඳහන් කළාය.

    තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයන් නව්‍ය තොරතුරු ආර්ථිකයේ මූලික ගාමක බලවේගය බවට පත් වෙමින් පවතින අතර, ආසියානු කලාපය ඇතුළු ලොව පුරා රාජ්‍යයන්හි නව ව්‍යවසාය පද්ධති තුළ සිදුවන විපර්යාස, සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයේ අනාගතය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ.

    මෙරට නව ව්‍යවසාය ප්‍රමාණයෙන් කුඩා වුවත්, මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමත්, ඒ සඳහා නවෝත්පාදන එක් කිරීමත්, තරගකාරීත්වය ඇති කිරීමත් හරහා ආර්ථික වර්ධනය කෙරෙහි කැපී පෙනෙන දායකත්වයක් ඔවුන්ට ලබා දිය හැකිය.

    සාර්ථක නව ව්‍යවසායකයන් මෙරට ආර්ථික වර්ධනයේ සහ සේවා නියුක්තියේ ප්‍රමුඛ සාධකයක් ලෙස පෙරමුණ ගෙන ඇත. ICTA ආයතනය මෑතකදී ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකින් අනතුරුව ශ්‍රී ලංකාව පළමු වරට "ගෝලීය නව ව්‍යවසාය පද්ධති වාර්තාව 2017" තුළට ඇතුළත් වීමට සමත් විය. Startup Genome ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම වාර්තාව, නව ව්‍යවසාය පිළිබඳ ප්‍රකාශයට පත් කෙරෙන ගෝලීය මට්ටමේ විශාලත ම පර්යේෂණ ව්‍යාපෘතියවන අතර, එක් එක් කලාප සවිමත් නව ව්‍යවසාය පද්ධති වැඩිදියුණු කිරීම සහ එය පවත්වා ගැනීම පිළිබඳ පරිපූර්ණ අදහසක් ලබා දෙයි.

    තරුණ නව ව්‍යවසාය පද්ධතියක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව එම වාර්තාවට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණ ද, ඒ දක්වා යන ගමන් මග වේගවත් කිරීම සඳහා ICTA ආයතනය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

    ICTA ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන තාක්ෂණ නව ව්‍යවසාය සහයෝගී වැඩසටහන (Spiralation) තුළින් 2010 වසරේ පටන් ව්‍යවසාය සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය, වෙළඳපල ප්‍රවේශය, අධීක්ෂණය, පුහුණුව සහ ද්විතීයික හා තෘතීයික මට්ටමේ සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම්වත් භාවය වර්ධනය කිරීම යන ක්‍රියාමාර්ග හරහා නව ව්‍යවසායකයන් හට සහයෝගය ලබා දී ඇත.

    Spiralation වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූලික ප්‍රාග්ධන වැඩසටහන හරහා නව ව්‍යවසාය 40කට අධික ප්‍රමාණයක් සඳහා ICTA ආයතනය සහයෝගය ලබා දී ඇත. EimSky, eTenders.lk, HypeHash, SenzMate සහ PayMedia යනු එම වැඩසටහන් තුළින් සාර්ථකත්වයට පත් ව්‍යවසාය අතර කිහිපයකි.

    "නවොත්පාදකයන් නව්‍යකරණ තාක්ෂණික යෙදවුම් ගොඩනැගීම සඳහා අවශ්‍ය මාවත විවර කරමින් සිටිනවා. එම තාක්ෂණික විසඳුම් ගෝලීය මට්ටමින් සුදුසු ග්‍රාහකයාට, ජනමත ධාරීන්ට, ආයෝජකයන්ට සහ ඉදිරි හවුල්කරුවන්ට විදහාපෑම සඳහා ඔවුන් හට සවිමත් පදනමක් අවශ්‍යය. ICTA ආයතනය ලෙස අප අඛණ්ඩව කැප වන්නේ ඔවුන්ට අවශ්‍ය වටපිටාව, දිරිගැන්වීම සහ මෙවලම් ලබා දීමටයි" යනුවෙන් ICTA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේ මහතා ප්‍රකාශ කළේය.
    සහයෝගී සහකරු ලෙස Edulink අධ්‍යාපනය ආයතනය, Start up Battle සහකරු ලෙස Hemas Slingshot සමාගම, කාර්යාල පහසුකම් සහකරු ලෙස Business Hubs සමාගම සහ ආයෝජන සමුළු සහකරු ලෙස Crowd Island යන සමාගම් ද Disrupt Asia සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය දක්වයි.