edotco උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම සමාගම බවට පත්වෙයි

    June, 13, 2017

    edotco සමාගම මෑතකදී බංගලාදේශයේ ධකා නුවර උත්තර පළාතේ ගොඩනැගිල්ලක් මත ප‍්‍රථම වරට උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළේ ය. ඒ අනුව එම සමාගම උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම දුරකථන කුලූනු සමාගම බවට පත්විය.

     

    Bangladesh University of Engineering (BUET) සමග එක්වී නිර්මාණය කර edotco Bangladesh Co. Ltd. විසින් දියත් කරන ලද මෙම නව නිර්මාණය edotco සමාගමේ නව්‍යකරණ හැකියාවන්ට මනා උදාහරණයක් වන අතර පුනර්ජනනීය සම්පත් භාවිතයේ නව මානයක්ද සනිටුහන් කරයි. එමෙන්ම එය තිරසාර හා හරිත ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් edotco සමාගම තැබූ සාර්ථක ඉදිරි පියවරක්ද වේ.

     

    මීට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරන ලද්දේ Bangladesh University of Engineering හි මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් අහමඞ් මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. දුරකථන සන්නිවේදන කුලූනු සඳහා සාම්ප‍්‍රදායිකව භාවිතා වන වානේ ව්‍යුහයන් වෙනුවට උණබට යොදාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ පර්යේෂණයේදී අවධානය යොමු විය.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් අහමඞ් මහතා පැවසුවේ රටේ උණබට භාවිතයෙන් නිමකළ ප‍්‍රථම කුලූන ඉදිවී තිබෙනු දැකීම තමන්ට මහත් සතුටක් බවයි.

     

    ‘‘බංග්ලාදේශය යනු උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක්. රටේ තාක්ෂණික දියුණුවට උරදීම සඳහා මෙවැනි සම්පත් ඵලදායී ලෙස භාවිතා කළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතාමත් වැදගත් කියා අප සිතනවා. උණබට වලට ආවේණික ගුණාංග නිසා ඒවා දුරකථන කුලූනු ලෙස පහසුවෙන් භාවිතා කළ හැකි බව ශක්‍යතා අධ්‍යයන වලදී පෙනී ගියා. මෙම උත්සාහය සම්බන්ධයෙන් විශ්වාසය තබමින් රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමට දායක වන මෙවැනි වැඩසටහනකට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් මා edotco සමාගමට ස්තූතිවන්ත වනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

     

    විශාල බරක් දරා සිටීමේ හැකියාව උණබට සතු බව පර්යේෂණ වලින් ඔප්පු වූ අතර එම නිසා එය දුරකථන කුලූනු සඳහා ඉතාමත් සුදුසු බව ප‍්‍රත්‍යක්ෂ විය. ඒවාට පැයට කිලෝමීටර් 210 දක්වා දැඩි සුළං දරා සිටීමේ හැකියාවද ඇති අතර නිසි ලෙස නඩත්තුව සිදුකළහොත් අවුරුදු 10 ක පමණ කාලයක් පවතී. දින 12 කින් පමණ ඉදිකළ හැකි උණබට කුලූනක් තැනීම සඳහා වැයවන්නේ සාමාන්‍ය වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියකි. එමෙන්ම ඇන්ටනා 8 ක් දක්වා එකවර එහි සවිකළ හැකි වේ.

     

    මෙහි තවත් අතිරේක වාසියක් වන්නේ උණබට වඩාත් සැහැල්ලූ වීමයි. එම නිසා සවිකරන ගොඩනැගිලිවලට පමණට වැඩි බරක් පැටවීම සිදු නොවේ. දේශගුණික උපද්‍රව්‍ය හා වේයන් වැනි උවදුරු වලින් ආරක්ෂා කිරීම සඳහා උණබට කුලූනු රසායනික ආලේපන ක‍්‍රියාවලියකට බඳුන් කෙරෙන අතර, මෙම ක‍්‍රමවේදයේ සාර්ථකත්වය තහවුරු කිරීම සඳහා edotco සමාගම පසුගිය දෙසැම්බර් මාසයේ ධකා හි කාන්ච්පුර් ප‍්‍රදේශයේ ආදර්ශන පරිශ‍්‍රයකදී මෙය අත්හදා බලන ලදි.

     

    ‘‘දුරකථන සන්නිවේදන යටිතල ව්‍යුහයේ අභියෝග වලට විසඳුම් ලබාදීම සඳහා නිරන්තරයෙන් නව අත්හදා බැලීම් සිදුකිරීමට edotco සමාගම කටයුතු කරනවා. උණබට භාවිතයෙන් දුරකථන කුලූනු ඉදිකිරීම යනු එසේ තිරසාර හා පුනර්ජනනීය සම්පත් භාවිතයෙන්, පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින් ක‍්‍රියාවට නැංවිය හැකි විසඳුමක් ලෙස පෙන්වා දීමට පුළුවන්. BUET සමග අත්වැල් බැඳගෙන මෙවැනි දෙයක් ක‍්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. ඉදිරියේදී රටේ අනෙකුත් පළාත් වලත් මෙය ක‍්‍රියාවට නැංවීම අපගේ ඉලක්කයයි. එමෙන්ම මෙවැනි දෙයක් ධකා නගරයේදී ක‍්‍රියාවට නැංවීමට හැකිවීම අපගේ මානව ප‍්‍රාග්ධනයේ ප‍්‍රමිතියටත් හොඳ උදාහරණයක් ලෙස මා දකිනවා.” edotco සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේෂ් සිධු මහතා පැවසී ය.

     

    2017 වසර තුළ පරීක්ෂණ මට්ටමින් ධකා නගරයේ තවත් උණබට කුලූනු කිහිපයක් ස්ථාපිත කිරීම edotco සමාගමේ අපේක්ෂාව වේ. 2018 වසර වනවිට සමාගම ක‍්‍රියාත්මක වන සහ උණබට ලබාගත හැකි අනෙකුත් රටවලදීද මෙම විසඳුම ක‍්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත.