ETI පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනපති අවධාරණය කරයි

    June, 11, 2020

    ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    මෙහිදී මෙම කමිටුව ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නොමැති බවයි. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබෙන අතර ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි.

    මෙහිදී අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙස හා ජනතාවගේ තැන්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට වැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් අතර සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

    “මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටී නමුත් එය මහ බැංකුවෙන් නිසියාකාරව ඉටුවී නැත“, යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරයි. විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.