Ex-Pack කොටස් නිකුතුවට ඉහළ ඉල්ලුමක්

    October, 22, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම විසින් අද (22) දිනයේ දී දියත් කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වය ලැබී ඇති බව සමාගම විසින් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මේ අනුව අද පස්වරු 4.30 ට නිකුත්ව වසා දමන බවට මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

    Capital Alliance Partners Limited සහ Asia Securities Advisors Pvt Ltd යන සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,333,333 ක් නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම එක් කොටසක් රු. 8.40 කට මිල කර ඇති අතර, මෙහි අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2.8 කි. 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙහි ඇස්තමේන්තුගත Future PER මට්ටම 7.7x වන අතර, Implied TTM PER මට්ටම (2021 අගෝස්තු වන විට) of 8.9x ක් වේ.

    Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක් වේ.