Exclusive -ආයෝජකයින් ආරක්ෂා කිරීමට කොටස් පොළින් අළුත් වැඩක්. CCP හඳුන්වා දෙයි

    February, 26, 2015

    කොටස් වෙළඳ පොළේ ආයෝජකයින්ගේ සහ කොටස් තැරැව්කාර සමාගම්වල ආරක්ෂාව වෙනුවෙන් ‘Central Counterparty System’ (CCP) නැමති අරමුදලක් පිහිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා කියයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති, වජිර කුලතිලක මහතා පැවසුවේ මෙවැනි අරමුදල් ලෝකයේ බොහෝ කොටස් වෙළඳපොළවල තිබෙන බවත් බංග්ලාදේශයේ පවා මෙවැනි අරමුදලක් ක්‍රියාත්මක වන බවයි.

    “කොටස් ගනුදෙනුවකදී ආයෝජකයා සහ තැරැව්කාර සමාගම අතර මෙම ගනුදෙනුව සිදුවෙනවා. යම් විදිහකින් කොටස් තැරැව්කාර සමාගමට ප්‍රශ්නයක් ඇතිවුවහොත් ආයෝජකයාටත් තැරැව්කාර සමාගමටත් මේ වනවිට නිසි ආරක්ෂාවක් නෑ. Central Counterparty System (CCP) නැමති මෙම අරමුදල මගින් බලාපොරොත්තු වෙන්නේ කොටස් ආයෝජකයාටත් තැරැව්කාර සමාගම් වලටත් මෙම ආරක්ෂාව ලබාදීමටයි.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කුලතිලක මහතා සඳහන් කළේය.

    මෙම අරමුදල ඇති කිරීම සඳහා මේ වනවිට කොළඹ කොටස් වෙළඳපොළ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු වැඩිදුරටත් කීය. මේ සඳහා මැලේසියානු උපදේශකයෙකුද සම්බන්ධ වී සිටින බව කුලතිලක මහතා පැවසීය.

    මේ වනවිට, කොළඹ කොටස් වෙළඳ පොළේ තිබෙන “Settlement Guarantee Fund“ නැමති අරමුදලේ තිබෙන රුපියල් මිලියන 600 ක මුදල මෙම අරමුදල පිහිටුවීම සඳහා මුලින් යොදාගැනීමට අදහස් කර තිබෙන අතර විවිධ පාර්ශව සම්බන්ධ කර ගනිමින් අරමුදල තර කර ගැනීමට සැලසුම් කර ඇත.