Exclusive- මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් ව්‍යාපාරික සැලසුමක්

    June, 3, 2015

    පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.

    මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.

    A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.

    මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.