Exclusive- රජය සහ Krrish සභාපති අතර විශේෂ සාකච්ඡාවක්. තොරතුරු මෙන්න!

    August, 12, 2014

    කොළඹ කොටුවේ අක්කර 04 ක භූමි භාගයක ඉදිකිරීමට සැලසුම් කර තිබෙන “Krrish Square“ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ ක්‍රිෂ් සමූහයේ සභාපතිවරයා අතර කොළඹදී සිදුවී තිබේ.

    මෙම සාකච්ඡාවේදී ක්‍රිෂ් සමූහයේ සභාපති අමිට් කට්යාල් (Amit Katyal) නාගරික සංවර්ධන අධිකාරියට දැනුම්දී තිබෙන්නේ මෙම ව්‍යාපෘතියේ වැඩ ලබන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බවයි.

    ඒ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “ක්‍රිෂ් සමූහයේ සභාපතිවරයා ලංකාවට ඇවිත් අද උදෑසන අප සමග සාකච්ඡාවක් කළා. එහිදී, ඔහු දැනුම් දුන්නා මෙම ව්‍යාපෘතිය ලබන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බව. ව්‍යාපෘතිය සිදුකරන ඉඩම වෙනු‍ෙවන් තවත් රුපියල් මිලියන 640 ක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතුයි. එම සියළුම මුදල් වැඩ ආරම්භ කිරීමට පෙර ගෙවීමට ඔහු එකඟ වුණා.“

    සුපිරි නිවාස, සාප්පු සංකීර්ණ, තරු හතේ හෝටලයක් ඇතුළු ඉදිකිරීම් වලින් සමන්විත තට්ටු 85 ක කුළුණකින් හා තවත් කුළුණු හතරකින් සමන්විත මෙම ව්‍යාපෘතිය පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ව්‍යාපෘතියකි. එයට හේතුව වූයේ ක්‍රිෂ් සමූහය විසින් මුලින් ප්‍රකාශ කළ දින වකවානු වලදී අදාළ ව්‍යාපෘතිය සිදු නොකිරීම ඇතුළු හේතුයි.

    මෙම ව්‍යාපෘතිය තනිවම සිදුකිරීමට අපොහොසත් වන්නේ නම් වෙනත් පාර්ශවයක් සමග හෝ එක්ව සිදුකරන ලෙස එම සමාගමට දැනුම් දී ඇතැයි පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුකදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    “ක්‍රිෂ් සමූහයේ සභාපතිවරයා අද අපට දැනුම් දුන්නා මෙම ව්‍යපෘතිය සඳහා රීට්ස් කාල්ටන් හෝටල් සමාගම (Ritz-Carlton Hotels) සමග සම්බන්ධ වී තිබෙන බව. එම ගිවිසුම අද අපට ඔවුන් පෙන්නුවා.“

    යනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

    රීට්ස් කාල්ටන් හෝටල් සමාගම විසින් මේ වනවිට රටවල් 26 ක සුඛෝපභෝගී හෝටල් 84 ක මෙහෙයුම් කටයුතු සිදුකරයි.

    කොළඹ චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලෝටස් පාරට මායිම් වන දැනට පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එම ගොඩනැගිල්ලද ඇතුළත්ව අක්කර 04 කුත් පර්චස් 37.10 ක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහයට ලබාදී තිබෙන්නේ 99 අවුරුදු බදු පදනම අනුව රුපියල් මිලියන 4995 ක මුදලකටයි.

    ව්‍යාපෘතිය සැලකෙන්නේ ක්‍රිෂ් සමූහයේ පළමු විදේශීය ව්‍යාපෘතිය ලෙසයි.