Facebook අළුත් මාවතකට යමින් “Dislike” බට්න් එකක් හඳුන්වා දෙන්නේ ඇයි?

    September, 16, 2015

    ලොව සුපතල Facebook සමාජ ජාලා වෙබ් අඩවිය විසින් Dislike බට්න් එකක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    මේ පිළිබඳව අනාවරණය කරමින් Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසා තිබෙන්නේ මෙම බට්න් එක අත්හදා බැලීමක් ලෙස ළඟදීම එළි දැක්වීමට නියමිත බවයි.

    මේ වනවිට, ලෝකයේ බිලියන 1.5 ක පමණ පිරිසක් Facebook සමාජ ජාලය භාවිතා කරන අතර මෙම Dislike බට්න් එක හරියටම භාවිතා වන්නේ කෙසේදැයි Facebook තවමත් අනාවරණය කර නැත.

    කෙසේවෙතත්, එය තවත් අයෙකු විසින් Facebook වෙබ් අඩවියේ පළකරන යමක් අවමානයට ලක් කිරීම සඳහා යොදා ගන්නක් නොවන බවත් මෙය තමන් අකමැති, කණගාටුවන සහ අපහසුතාවයට පත්වන දෑ පිළිබඳව තම අදහස ප්‍රකාශ කිරීමට යොදාගත හැකි එකක් බවත් වාර්තා වේ.

    මෙම Dislike බට්න් එක පිළිබඳව මාර්ක් සකර්බර්ග් අදහස් දක්වා තිබෙන්නේ මෙසේයි.

    “ඉතාමත් කණගාටුදායක දෙයක් ඔබ සඳහන් කරනවා නම්... එය අන් අයට like කිරීමට නොහැකි අපහසුවක් ඇති කරන්නක් විය හැකියි. නමුත්, ඔබේ මිතුරන්ට ඒ පිළිබඳව ඔවුන්ට දැනෙන දේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය විය හැකියි.“