FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී

    August, 18, 2017

    ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF), ජාත්‍යන්තර බාස්කට් බෝල් සම්මේලනය (FIBA) හා එක්ව  FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැරසෙයි. මෙම තරඟාවලිය යටතේ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් බාස්කට්බෝල් කණ්ඩායම් රැසක්  මෙරටදී තරඟ වැදීමට නියමිත ය.

    2017 අගෝස්තු 18 සිට 20 දක්වා මෙම තරඟාවලිය රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ  බාස්කට් බෝල් පිටියේදී  පැවැත්වීමට නියමිතව තිබේ. චෙච් ජනරජය, නෙදර්ලන්තය, හංගේරියාව, ස්ලොවේනියාව, ජෝර්දානය, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන  වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම්  3X3 Nations League සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වෙයි.

    විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකට සමාන තරඟ සැලසුමකින් ක්‍රියාත්මක වන 3X3 බාස්කට් බෝල් තරඟාවලිය මේ වනවිට ලොව පුරා බාස්කට් බෝල් ලෝලීන් අතර ජනප්‍රිය තරඟයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව මෙම  තරඟ ආකෘතිය තුළ විශේෂ වන්නේ වයස අවුරුදු 19 න් පහළ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන බ්‍රෙන්ට් තෙවකුමාර්  ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 11 වන ස්ථානය හිමිකරගෙන සිටීමයි. ලෝක ශ්‍රේණිගත කිරීම් වල  51 වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙ සිටින අතර  කලාපීය ශ්‍රේණිගත කිරීම් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටියි.  තවද 23 න් පහළ පිරිමි කණ්ඩායම  ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල  44 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර 23න් පහළ කාන්තා කණ්ඩායමට හිමිව ඇත්තේ 37 වන ස්ථානයයි.

    මෙම තරඟාවලියට අමතරව ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF)විසින් 3X3 ආරාධිත බාස්කට් බෝල් තරඟාවලියක් සංවිධානය කරන අතර  වයස අවුරුදු 17 න් පහල දරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පවත්වනු ලැබේ. මෙම වැඩමුළුවෙහි අරමුණ වන්නේ 3X3 බාස්කට් බෝල් තරඟ මෙරට පාසැල් සිසුන් අතර ප්‍රචලිත කරවීමයි. මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF) මඟින් විවිධ අනුග්‍රාහකයින් මෙන්ම ජාත්‍යන්තර බාස්කට් බෝල් සම්මේලනය (FIBA) දායකත්වය සපයයි.

    මෙම තරඟාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනයේ  (SLBF) මැදිහත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ  මහතා සඳහන් කළේ  ලොව පුරා  රටවල් 7ක කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් FIBA 3X3 Basketball Nations League 2017 ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. මෙම තරඟාවලිය ශ්‍රිලංකාවේ පැවැත්වීම  සමස්ථ ආසියානු බාස්කට් බෝල් ක්ෂේත්‍රයම ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමක් ලෙස හැඳින්විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. බොහෝ ක්‍රීඩා ලෝලීන් 3X3 තරඟ ආකෘතිය වෙත ඉක්මනින් ආකර්ශනය වන බවක් දක්නට ලැබෙන බවද එම ආකර්ශණය  මෙරට බාස්කට් බෝල් ක්‍රීඩාව තවදුරටත් ජාත්‍යන්තරව ඔසවා තැබීමට සමත්වනු ඇති බවත් හෙතෙම  පෙන්වා දුන්නේය.