September, 22, 2026
අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය.
ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය ශ්‍රේණිය CCC+ සිට B- දක්වා ඉහළ නැංවූ ප්‍රවෘත්තිය නිවේදනය කිරීමත් සමඟම එතැන් සිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,122ක් දක්වා සුවිශේෂී වර්ධනයක් වාර්තා කළේය.
කොටස් වෙළෙඳපොළ විශේලේෂකයින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමත් සමඟම ආයෝජකයින්ගේ විශ්වාසය යළිත් වතාවක් තහවුරු වීමේ සළකුණක් ලෙස මෙලෙස කොටස් වෙළෙඳපොළ ක්ෂණික පිබිදීමක් වාර්තා කිරීම හැඳින්විය හැකි බවයි.
දිනය නිමාවේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය ඒකක 74.83ක් ලෙසින් ගළපා තිබුණු අතර ඒ අනුව දිනය අවසානයේ දී ඒකක 21,054.01ක් ලෙසින් එය වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 5,928.86ක් ලෙසින් දැක්වුණු අතර දිනය තුළ ඒකක 19.41ක ඉහළ යාමක් එය වාර්තා කර තිබුණි.
මේ අතර දෛනික පිරිවැටුම ද රු. බිලියන 1.37ක් ලෙසින් පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ දී ඉහළ මට්ටමක පැවතුණි. ඊයේ (21) දින පිරිවැටුම රු. මිලියන 750ක් විය.
Video Story