Ford Eco sport දෙවන වරටත් ඉන්දියාවේ J.D. Power සම්මානයෙන් පිදුම් ලබයි

    May, 26, 2016

    ඉන්දීය ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඇති SUV රථය ලෙස Ford Eco Sport අඛණ්ඩව දෙවන වරටත් ඉන්දියාවේ J.D. Power සම්මානය දිනාගනියි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන J.D. Power and Associates විසින් මෙහෙයවන India Initial Quality Study (IQS) නැමති සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම සම්මානය පිරිනමා තිබේ.

    J.D. Power and Associates භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන පාරිභෝගික සමීක්ෂණ ආයතනයකි. මෙහිදී පාරිභෝගිකයින්ගේ අත්දැකීම් අනුව ඔවුන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන ඒ ඇසුරින් සමීක්ෂණ වාර්තා සැකසීම සිදුකරයි. මෙලෙස සිදුකෙරෙන අධ්‍යයනයන් මඟින් භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට සිය පාරිභෝගිකයා මැනවින් හඳුනාගැනීමට අවස්ථාව සැලසෙනවා සේම පාරිභෝගික අවශ්‍යතාව ද හඳුනාගැනීමට අවස්ථාව සැලසෙයි. එම හඳුනා ගැනීම් ඔස්සේ එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් සිය තීන්දු හා තීරණ වලට එළැඹෙයි. J.D. Power and Associates විසින් සිදුකරන සමීක්ෂණ ස්වාධීන සමීක්ෂණ වන අතර එක් එක් හඳුනාගත් වාහන හිමිකරුවන් විසින් දක්වන අදහස් ද මෙම සමීක්ෂණ වාර්තා වල ඇතුළත් වෙයි.

    J.D. Power සම්මානයෙන් පිදුම් ලැබීම සිය පාරිභෝගිකයින් වෙත ඉතා උසස් නිෂ්පාදන තිළිණකර ඇති බව පැහැදිලි කෙරෙන සාක්ෂියක් බව Ford India හි වෙළඳ ,අලෙවි හා සේවා විධායක අධ්‍යක්ෂ අරුන් මෙහ්රෝත්‍රා පවසයි.

    වසර 2013 දී වෙළද පලට හඳුන්වා දුන් Ford Eco Sport රථය මේ වනවිට ඉන්දීය පාරිභෝගිකයින් අතර නමක් දිනා සිටියි. Ford Eco Sport රථය නිමවා ඇති ආකාරය සහ එය වැඩිදියුණු කර ඇති ආකාරය සහ එහි වටිනාකම යන සාධක අනුව මෙම රථය ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතියි. SUV රථයක පෙනුම සහ ස්වභාවය මෙන්ම මෝටර් රථයක සුව පහසු බව එක් කරගත් Ford Eco Sport ඉන්දියාව තුළ ජනප්‍රිය වීම තුළින් ඉන්දීය ප්‍රවාහනයේ ප්‍රමුඛතාව Ford නිෂ්පාදන මඟින් හිමිකර ගැනීම ප්‍රතිමූර්තිමත් වෙයි.