Exclusive- අබුඩාබියෙන් ගෙනා දැවිතෙල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක ගැටලුවක්

    June, 30, 2014

    පුද්ගලික විදුලි බලාගාරවල භාවිතය සඳහා අබුඩාබියේ සිට ආනයනය කර තිබෙන දැවිතෙල් (Furnace oil) මෙට්‍ට්‍රික් ටොන් 20,000 ක ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් මතුව තිබේ.

    මේ පිළිබඳව අප ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, සිරිසේන අමරසේකර මහතාගෙක් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මෙම දැවිතෙල් තොගයේ ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට පුද්ගලික විදුලි බලාගාර හිමියන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම දැවිතෙල් තොගය භාරගැනීමට යම් හෙයකින් ඔවුන් එකඟ වුවහොත් දැවි තෙල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවයි.

    “අබුඩාබියේ සිට ආනයනය කර තිබෙන මෙම දැවිතෙල් තොගය බාලයි කියන්න බෑ. මෙරට විදුලි බලාගාර භාවිතා කරන ප්‍රමිතියට වඩා එක මට්ටමක් වෙනස්වීම පමණයි වෙලා තිබෙන්නේ. මෙම දැවිතෙල් තොගය භාරගන්න කැමතිද ? නැද්ද ? කියල අපි පුද්ගලික විදුලි බලාගාර හිමියන් සමග මේ වනවිට සාකච්ඡා කරනවා. ඔවුන් කැමති වුණොත් මෙම දැවිතෙල් තොගය භාර ගන්න ගැටලුවක් ඇති වෙන්නෙ නෑ.“

    යනුවෙන් සිරිසේන අමරසේකර මහතා කීය.

    මෙම දැවිතෙල් තොගය රැගත් නෞකාව මේ වනවිට කොළඹ වරායේ නැංගූරම් ලා තිබේ.

    රට මේ වනවිට දැවිතෙල් හිඟයකට මුහුණ දී තිබෙන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කර තිබෙන අතර ඒ පිළිබඳව අපි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළේය.

    “අපි සතුව දැනට ප්‍රමාණවත් දැවිතෙල් තොග තිබෙනවා. නමුත්, කොළඹ වරායට පැමිණ තිබෙන මෙම දැවිතෙල් තොගය භාර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර හිමියන් අකමැති වුණොත් තමයි ප්‍රශ්නයක් වෙන්නෙ. එතකොට, ඩීසල් වලින් තමයි විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න වෙන්නෙ.“