Gamma Interpharm කාම්බෝජයට ඖෂධ අපනයනය අරඹමින් ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන ක්ෂේත්‍රයට නව වෙළෙඳපොළක් විවර කරයි

    August, 28, 2026

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාම්බෝජයට අපනයනය කිරීම අරඹමින් Gamma Interpharm (Pvt) Ltd සිය දශක හයක ව්‍යාපාර ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට කළාපීය වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තව දුරටත් ශක්තිමත් කර ගැනීමට වැදගත් අවස්ථාවකි. Gamma Interpharm විසින් කාම්බෝජය වෙත ප්‍රථම ඖෂධ තොගය අපනයනය කරනු ලැබීම 2026 අගෝස්තු 14 සමාගමේ නිෂ්පාදන පරිශ්‍රයේදී පාර්ශ්වකරුවන්ගේ සහ සේවකයන්ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් අරඹන ලදී. සමාගම සඳහන් කළේ මෙම ජයග්‍රහණයත් සමඟ කාම්බෝජයට ඖෂධ අපනයනය කරන පළමු ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන සමාගම බවට Gamma Interpharm පත් වී ඇති බවයි. කාම්බෝජ වෙළෙඳපොළට පිවිසීම ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ විදේශීය වෙළෙඳපොළ තුළ ස්ථාපිත කිරීමේ Gamma Interpharmහි දිගු කාලීන උපාය මාර්ගයේ වැදගත් පියවරකි.

    Warner Lambert Inc. සහ ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc. සමඟ පැවති සබඳතා ඔස්සේ ගොඩ නැගුණු උරුමයකින් යුත් Gamma Interpharm පසුගිය දශක හයක කාලය තුළ ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදකයෙකු ලෙස නිෂ්පාදනවල තත්ත්ව සහතිකකරණ සහ විශ්ලේෂණ හැකියා අඛණ්ඩව වර්ධනය කර ඇත. සමාගමේ සභාපති කළණ හේවාමල්ලිකා මහතාගේ දැක්ම සහ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නව අවස්ථා නිර්මාණය කිරීමට Gamma Interpharm විශේෂ අවධානයක් යොමු කර තිබේ. සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්ති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කළමනාකාරිත්වය සහ සේවක මණ්ඩලය  ඉහළ දායකත්වයක් සපයා ඇත. නවීන ඖෂධ නිෂ්පාදන තාක්ෂණයෙන් සහ උසස් විශ්ලේෂණ පහසුකම්වලින් සමන්විත Gamma Interpharm සතුව ජාත්‍යන්තර අත්දැකීම් සහිත දක්ෂ වෘත්තීය කණ්ඩායමක් සිටියි. තාක්ෂණය, පුහුණුව සහ විශිෂ්ට ගෝලීය භාවිත සඳහා අඛණ්ඩව කරන ආයෝජන හරහා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල වන ලෙස සිය නිෂ්පාදන හැකියා ඉහළ නැංවීමට සමාගම කටයුතු කරයි. Gamma Interpharm නිෂ්පාදන පරිශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශවලට අනුකූලව සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය යටතේ ක්‍රියාත්මක වේ. සිය ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සමාගමේ ප්‍රමුඛ අවධානය යොමු වේ. කාම්බෝජ වෙළෙඳපොළට පිවිසීම සමාගමේ කළාපීය පැවැත්ම ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇති හැකියාව ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. “Seeking Excellence in contributing towards Quality Healthcare for All” යන Gamma Interpharm දැක්මට අනුකූලව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගුණාත්මක ඖෂධ නිෂ්පාදන සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සමාගමේ අරමුණ වී තිබේ. කාම්බෝජයෙන් පසු සිය කළාපීය ව්‍යාප්තිය තව දුරටත් වේගවත් කිරීමට Gamma Interpharm සූදානම් වන අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ වියට්නාමය සහ පිලිපීනය වෙත හඳුන්වා දීමට සැළැසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. කාම්බෝජයට කළ මෙම ව්‍යාප්තිය සහ ඉදිරියේදී අනෙකුත් ආසියානු වෙළෙඳපොළ වෙත පිවිසීම තුළින් ගෝලීය පිළිගැනීමක් සහිත ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයක් ගොඩ නැගීම මෙන්ම මෙරට ඖෂධ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට සක්‍රීය දායකත්වයක් සැපැයීම Gamma Interpharmහි දිගු කාලීන අරමුණයි.