GRI ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරයි – මෙරට විශාලතම විශේෂිත ටයර් කර්මාන්තශාලාව

    January, 21, 2021

    බඩල්ගම දී නව නිෂ්පාදන කම්හලක් සහිත ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියක දෙවන අදියර සඳහා මුල් අඩිතාලම දැමීම සඳහා GRI සමාගම (ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස්) 2021 දී ආරම්භ කළේ ය. නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා මෙම පහසුකම මගින් ටයර් නිෂ්පාදන හැකියාව පුළුල් කරනු ඇත.

    මෙම නව කර්මාන්තශාලාව GRIහි වේගවත් නිෂ්පාදන ක්‍රමවේදය පුළුල් කිරීමේ මීළඟ අදියර වන අතර නව මිශ්‍ර කිරීමේ පහසුකමක් ද ඇතුළු ව සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 100කි. ඩොලර් මිලියන 40කට වැඩි ආයෝජනයක් සහිත ගෝලීය ප්‍රමිතිය සහිත විශේෂිත ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් 2018 ජනවාරි මාසයේ දී GRI විසින් ආරම්භ කරන ලදී. නව කර්මාන්ත ශාලාව මෙම පහසුකම පුළුල් කිරීමක් වන අතර එහි වැඩකටයුතු 2021 දෙසැම්බර් වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    නව නිෂ්පාදන පහසුකම සමාගමේ දිගුකාලීන දැක්ම හා වර්ධන ප්‍රයත්නයේ කොටසක් බව GRIහි කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රභාෂ් සුබසිංහ මහතා පැහැදිලි කළේ ය.

    “මෙතරම් කෙටි කාලයක් තුළ GRI හි ව්‍යාප්තිය සහ අපගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම, මෑත වසරවල දී අපගේ GRI සන්නාමගත නිෂ්පාදන සඳහා ඇති වූ අධික ඉල්ලුමේ ප්‍රතිඵලයකි. අපගේ නිෂ්පාදන අතිශයින් ම තරගකාරී වෙළඳපළක් තුළ හොඳ පිළිගැනීමක් ලබා ඇති ආකාරය සහ එහි ඉහළ ගුණාත්මකභාවය, සේවාව සහ නව්‍යකරණයන් ප්‍රශංසාවට ලක් කෙරෙන අයුරු දැකීම සතුටට කරුණකි - ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ විශේෂිත ටයර් සඳහා නමක් දිනාගැනීම සඳහා අපි හොඳින් ස්ථාන ගත වී සිටින්නෙමු.” සුබසිංහ මහතා තව දුරටත් සඳහන්  කළේ ය.

    දේශීය COVID-19 රෙගුලාසිවලට අනුකූල ව, සමාගම සංවෘත, කුඩා පිරිසකගෙන් සමන්විත උත්සවයක් පැවැත්වූ අතර එහි දී ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් GRIහි නව කර්මාන්තශාලාවේ ඉදිකිරීම් ආරම්භ වූ අතර කනිෂ්ඨ සාමාජිකයින් විසින් එහි මුල්ගල තබන ලදී.

    “නව කර්මාන්තශාලාව අති නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත වන අතර වසරකට ටයර් 750,000 ක් දක්වා හා දිනකට ටොන් 100 ක ධාරිතාවයක් සහිත ව නිෂ්පාදනය ඉහළ යවමින් GRI හි වර්තමාන නිෂ්පාදන ධාරිතාව සිව් ගුණයකින් වැඩි කිරීමට මේ හරහා සැලසුම් කර ඇත. නව කර්මාන්තශාලාව කෘෂිකාර්මික ටයර් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. තව ද, රේඩියල් කෘෂිකාර්මික නිෂ්පාදන හැකියාව ඇති ශ්‍රී ලංකාවේ එක ම නිෂ්පාදකයා වන්නේ GRI ය. නිෂ්පාදන, ඉංජිනේරු, තත්ත්ව පරීක්ෂාව, උසස් තාක්‍ෂණය, පර්යේෂණ සහ සංවර්ධනය වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ සේවකයින් 500ක් සඳහා රැකියා අවස්ථා සැලසීමට ද GRI කණ්ඩායම අපේක්ෂා කරයි.” නව පහසුකම්වල වැදගත්කම පිළිබඳ සඳහන් කරමින් GRIහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මහේෂ රණසෝම මහතා පැවසීය.

    නව පහසුකම මඟින් වර්ග මීටර් 11,600 ක නිෂ්පාදන භූමි ප්‍රමාණයක් එකතු වන අතර එමඟින් ප්‍රධාන ටයර් කම්හල වර්ග මීටර් 22,400ක් වනු ඇත. (වර්ග අඩි 240,000) එය පාපන්දු පිට්ටනි තුනක ප්‍රමාණයට සමාන වේ. නව නිෂ්පාදන කම්හලේ ඇති ප්‍රධාන ලක්‍ෂණයක් නම් විශාල ප්‍රමාණයේ කෘෂිකාර්මික ටයර් නිෂ්පාදනය කිරීමේ හැකියාව GRI සමාගමට ලබා දීම යි. “දැනට අප නිෂ්පාදනය කරන ටයරයක උපරිම ප්‍රමාණය අඟල් 50 කි. වර්ධනය වන වෙළඳපළ ඉල්ලුම හමුවේ අපගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව නිෂ්පාදන කම්හලේ තුළ අඟල් 60ක් පමණ ප්‍රමාණයේ ටයර් නිෂ්පාදනය කිරීමට අපට හැකි වනු ඇත.” GRIහි විධායක අධ්‍යක්ෂ ආනන්ද කල්දේරා මහතා පැවසීය. “එමෙන් ම මේ හරහා සමාගම ටයර් ගොඩනැඟීමේ යන්ත්‍ර 22ක් සහ සම්පීඩන යන්ත්‍ර 36ක් වර්තමාන ධාරිතාවයට එක් කරනු ඇත.

    සියලු ම නිෂ්පාදන ක්‍රමවේදවල කොටසක් ලෙස තිරසාරබව සුරක්ෂිත කරගැනීමේ GRIහි අධිෂ්ඨානය එහි නව නිෂ්පාදන පහසුකම හරහා ද නැවත අවධාරණය කෙරේ.

    නව පහසුකම මගින් GRIහි සූර්ය පැනල වැඩසටහන පුළුල් කර මෙගා වොට් 2.5 ක සූර්ය බලශක්තියක් ජනනය කරනු ඇත. කර්මාන්තශාලාව ඌෂ්මක තෙල් බොයිලේරු වෙනුවට ජෛව ස්කන්ධ බොයිලේරු භාවිත කරන අතර වායු විමෝචනය කිරීමකින් හා ද්‍රව බැහැර කිරීමකින් තොර ව හා අවම ද්‍රව්‍ය නාස්තියකින් යුතු පරිසර හිතකාමී ‘වියළි’ ක්‍රියාවලියක් සමඟ මෙම කර්මාන්තශාලාව ඉදි වනු ඇත. නව නිෂ්පාදන පහසුකම මගින් වැසි ජලය එක්රැස් කිරීම සහ කාර්යක්ෂම අපජල කළමනාකරණ පද්ධතියක් හරහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ GRIහි හරිත ප්‍රතිපත්ති පුළුල් කරනු ඇත. මීට අමතර ව GRI විසින් කාබන් පිය සටහන් විශ්ලේෂණයක් සිදු කර පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා කටයුතු කිරීමට ද බලාපොරොත්තු වේ.

    GRI සමාගම 2002 දී ආරම්භ කරන ලද අතර ඉහළ ශ්‍රේණියේ ශ්‍රී ලංකා විශේෂ ටයර් ලොවට ගෙන යාමේ දැක්ම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. රටවල් 50කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර කටයුතුවල යෙදෙන මෙම සමාගම විසින් දේශීය ව නිපදවන ස්වාභාවික රබර් යොදාගෙන රේඩියල් කෘෂිකාර්මික ටයර්, ඉදිකිරීම් ටයර් සහ අමුද්‍රව්‍ය හැසිරවීමේ ඝන ටයර් නිෂ්පාදනය කරයි. කෘෂිකාර්මික ටයර් නිෂ්පාදනය කිරීම සඳහා 2018 දී GRI විසින් ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ නිෂ්පාදන කම්හලක් විවෘත කරන ලදී. 2020 දී ශ්‍රී ලංකාවේ මිරිගම අපනයන සැකසුම් කලාපයේ (MEPZ) නව මිශ්‍ර කිරීමේ වැඩපොළක් ඉදිකිරීමට ද GRI කටයුතු ආරම්භ කළේ ය.