GSP+ සහයෙන් යුරෝපයට යැවූ මෙරට ඇඟලුම් අඛණ්ඩවම වර්ධනයක

    January, 11, 2018

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 ඔක්තෝම්බර් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබෙන බවයි. මෙම අපේක්ෂාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබුණි.

    පසුගිය කාලය පුරාම උද්ධමනය ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කළ අතර පසුගිය අගෝස්තු මාසයේදී පැවති 7.9% ක් වන උද්ධමනය සැප්තැම්බර් මාසය වනවිට 8.6% ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙය තවදුරටත් වර්ධනය වෙමින් 2017 ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය 8.8% ක් දක්වා වර්ධනය විය. ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ සැපයුම අඩුවීම නිසා ආහාර ද්‍රව්‍යයන්ගේ සිදුවූ මිල වැඩිවීමයි.

    මේ අතර, 2017 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩුවෙමින් විදේශීය ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම, ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩව මෙම මාසයේදී අරමුදල් ගලාවිත් ඇත. අඛණ්ඩව හතරවන මාසය සඳහාත් 2017 ඔක්තෝම්බර් මාසයේදී මෙරට අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී තිබෙන අතර ආනයන වියදම් අඩුවීම හමුවේ වෙළඳ හිඟය අඩුවී තිබේ.

    කෙසේවෙතත්, මෙරටට විදේශ විනිමය ලැබෙන සංචාරක කර්මාන්තයේ ආදායම් මේ මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් නොමැති අතර විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ආදායම් තවදුරටත් පහළ ගොස් ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මැදපෙරදිග රටවල පවතින අස්ථාවර දේශපාලන සහ ආර්ථික තත්ත්වයයි.

    එසේම, මෙම මාසය තුළදී මෙරට ආයෝජන විශ්වාසය තවදුරටත් වර්ධනය වී තිබෙන අතර කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශීය ලැබීම් වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් 2017 ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට මෙරට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කර තිබේ. මේ අතර, 2016 වසර අවසන් වනවිට මෙරට දළ නිළ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක්වූ අතර එය 2017 ඔක්තෝම්බර් අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් දක්වා වර්ධනය වී ඇත.

    ඔක්තෝම්බර් මාසයේදී මෙරට අපනයන වර්ධනය වීම සඳහා ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වා තිබෙන්නේ ඇමරිකාව සහ යුරෝපා වෙළඳපොළට සිදුකරන ලද ඇඟලුම් අපනයන වර්ධනය වීමයි. ඇමරිකානු වෙළඳ පොළට අපනයනය කළ ඇඟලුම් ප්‍රමාණය ඔක්තෝම්බර් මාසයේදී 14.7% කින් වර්ධනය වූ අතර යුරෝපා සංගමය වෙත සිදුකළ අපනයනය 8.0% කින් වර්ධනය වී තිබේ. මේ සඳහා බලපා තිබෙන්නේ රජය විසින් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලබාගැනීමට සමත් වීමයි.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය කාලයේදී වෙනස් වූ ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    2017 ඔක්තෝම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2017 ඔක්තෝම්බර් මාසයේදී පහළ ගොස් තිබේ. උද්ධමනය වැඩිවීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නට ඇත. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    2017 සැප්තැම්බර් මාසයේ පහළ ගිය මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තුව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත් කරන ලදී.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.