HCL ටෙක්නොලොජීස් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතට

    October, 6, 2021

    HCL ටෙක්නොලොජීස් ලංකා (පුද්ගලික) සමාගම ඉන්දියාවේ HCL ටෙක්නොලොජීස් ආයතනයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වේ. එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලාංකිකයින් 2,450ක් හා විදේශිකයින් 1,050ක් වශයෙන් රැකියා අවස්ථා 3,500ක් ඇති කරමින් මෘදුකාංග සංවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවාවන් සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020 ජනවාරි 08 දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. එම ව්‍යාපෘතියේ වාණිජමය කටයුතු 2020 ඔක්තෝබර් 29 දින ආරම්භ වී තිබේ.
    අදාළ ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන පනත යටතට ගැනෙන ව්‍යාපෘතියක් සේ සලකා කටයුතු කරන ලෙසට එම සමාගම විසින් ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා ආයෝජන මණ්ඩලය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, HCL ටෙක්නොලොජීස් ලංකා (පුද්ගලික) සමාගම විසින් ආරම්භ කර ඇති ඉහත ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගැනීම පිණිස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.