hSenid මූලික කොටස් නිකුතුවට දැවැන්ත ඉල්ලුමක්

    December, 3, 2021

    අද (03) දිනයේ දී විවෘත කෙරුණු hSenid Business Solutions සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ.

    ඒ අනුව අද පස්වරු 4.30 ට නිකුතුව වසා දැමීමට තීරණය කර ඇති බව hSenid Business Solutions සමාගම වෙනුවෙන් කෝපරේට් සර්විසස් (පුද්) සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මෙම මූලික කොටස් නිකුතුවේදී කොටසක් රු. 12.50 බැගින් වන නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,339,076 ක් නිකුත් කෙරුණු අතර, එමගින් එක්රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රු. මිලියන 692 කි.

    සමාගමේ අනාගත ක්‍රමෝපායික අත්පත් කරගැනීම් සඳහා මෙන්ම, වෙනත් රටවල් හා කලාප වෙත ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම සහ තම නිෂ්පාදන තවදුරටත් වැඩිදියුණු කිරීම වැනි අරමුණු සඳහා මෙම මුදල් ආයෝජනය කිරීමට සමාගම අපේක්ෂා කරයි.

    නැගී එන වෙළඳපොළවල මානව ප්‍රාග්ධන කළමනාකරණ මෘදුකාංග සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් හිමි hSenid Business Solutions සමාගම, මෙම කාණ්ඩයේ සමාගම් අතරින් කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වන ප්‍රථම සමාගමයි.