Hyundai Motors සමාගම BBC TopGear සඟරාව මගින් නම් කළ ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස පිදුම් ලබයි

    January, 3, 2019

    ■ නවතම  BBC TopGear  සඟරාව මගින් හුන්ඩායි මෝටර් සමාගම ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස නම්කර ඇත. 

     Hyundai Motors   සමාගම දකුණු කොරියානු සමාගමක් වන අතර, තමන් දැනටමත් සෙසු ප්‍රමුඛ පෙළේ සමාගම් වලට අභියෝගයක් වී ඇති බව එම සමාගම පවසයි. 

     i30N, IONIQ  සහ  KONA Electric  රථවාහන ඒවායේ විශ්වාසදායක බව නිසා වෙළඳපොළ තුළ විශාල ප්‍රසාදයක් දිනා ඇත. 

     
    මෙවර  BBC TopGear  සඟරාව මගින් හුන්ඩායි මෝටර් සමාගම ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස නම්කර ඇත. මෙම සඟරාව මේ වනවිට වෙළඳපොළට නිකුත් කර තිබේ. 
     
    හුන්ඩායි සමාගම අත්පත් කරගෙන ඇති වේගවත් වර්ධනය මෙම සඟරාව මගින් ඇගයීමට ලක්කර ඇති අතර එහි  i30N, IONIQ  සහ  KONA Electric  රථවාහන මාදිලි වල සුවිශේෂීත්වයන් පිළිබඳව එහි කරුණු දක්වා තිබේ. 
     
    සඟරාව පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ  Hyundai  රථවාහනවල ‘විශේෂයක් නොමැති’ බව ගැන කතාකිරීමෙන් අනතුරුව, මේ දකුණු කොරියානු සමාගම මේ වනවිට තම විවේචකයන්ට නිසි පිළිතුරු ලබාදී ඇති බවයි. 
     
    එදිනෙදා පාවිච්චියට සුදුසු  City Cars  වර්ගයේ රථවාහන, සාම්ප්‍රදායික හැච්බැක් සහ  ‘Hot Hatches' වර්ගයේ කාර්, කුඩා සහ විශාල SUV වැනි මාදිලි රැසක් මෙන්ම සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින්, හයිබ්‍රිඩ් එන්ජින්, විදුලි බලයෙන් ධාවනය වන වාහන සහ හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන වාහන ඇතුළුව ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු රථවාහන වර්ග රාශියක්   Hyundai Motors   සමාගම දැනටමත් හඳුන්වා දී ඇත. 
     
    BBC TopGear සඟරාව වෙතින් ලැබුණු මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින්, එක්සත් රාජධානියේ   Hyundai Motors  සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි වයිට්හෝන් මහතා මෙසේ පැවසී ය. “පසුගිය දශකයක කාලය තුළ අප කෙතරම් දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවාද යන්න මෙමගින් පැහැදිලි වනවා. 2008 වසරේදී අප එක්සත් රාජධානියේ රථවාහන 28,000 ක් අලෙවි කළා. ඒ සියල්ලම පාහේ මිලදීගනු ලැබුයේ ඒවායේ අඩු මිල නිසයි. 2018 වසර වනවිට අප එක්සත් රාජධානියේ ප්‍රධානමතම රථවාහන නිෂ්පාදන සමාගම් 10 අතරට පැමිණ තිබෙනවා. මෙම වසර තුළ අප රථවාහන 90,000 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කළා. මේ පාරිභෝගිකයන් අපගේ වාහන මිලදීගැනීමට ප්‍රමුඛතම හේතුව ලෙස දක්වා ඇත්තේ ඒවායේ නිමාවයි. අපගේ සන්නාමය වේගයෙන් දියුණුව කරා ගමන් ගනිමින් තිබෙන අතරම, පෙර නොවූවිරූ තරම් විවිධත්වයක් සහිත රථවාහන මාදිලි පෙළක් අතරින් තමන්ට කැමති මාදිලිය තෝරාගැනීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්.”