February, 17, 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ ‘Center of Excellence for Independent Validators (CEIV) Live Animals’ සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් කලාපීය වශයෙන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ ඉහළම ගෝලීය ප්‍රමිතිය ලෙස සැලකෙන මෙම සහතිකය, සුරතල් සතුන් ඇති කරන්නන්, පශු සම්පත් හිමිකරුවන්, වනජීවී සංරක්ෂකයින් සහ සියලුම භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් වෙත ශ්‍රීලංකන් කාගෝ ආයතනය ලබාදෙන ප්‍රබල සහතිකයකි. එමගින් සතුන් වඩාත් මානුෂීය, ආරක්ෂිත සහ ආතතියෙන් තොර සුවපහසු තත්ත්වයන් යටතේ ලොව පුරා ප්‍රවාහනය කරන බව සහතික කෙරේ.
“IATA CEIV Live Animals සහතිකය හිමිවීම, සතුන්ගේ සුභසාධනය සහ අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරන්නකි. එමගින් සතුන් වඩාත් ආරක්ෂිතව හැසිරවීම, පුහුණු කණ්ඩායම්වල සේවය සහ අපගේ පාරිභෝගිකයන්ට විශ්වසනීය සේවාවක් සහතික කෙරේ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.
IATA හි ආසියා-ශාන්තිකර කලාපීය උප සභාපති ෂෙල්ඩන් හී මහතා සඳහන් කළේ, මෙම සහතිකය හුදෙක් අනුකූලතාවය පිළිබඳව පමණක් නොව, ගුවන් මගින් ප්‍රවාහනය කරන සතුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කරන්නක් බවයි. විශේෂයෙන්ම 2025 වසරේදී ගෝලීය වශයෙන් සතුන් ප්‍රවාහන නැව්ගත කිරීම් 200,000කට වඩා සිදු වී ඇති පසුබිමක, ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම ඉහළම ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සතුටු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සතුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පෙරදැරි කරගත් මෙම සහතිකය ලබා ගැනීම සඳහා දැඩි පුහුණුවක්, ඇගයීමක් සහ සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු අතර, දැනට ලොව පුරා මෙම සුවිශේෂී සහතිකය හිමිකර ගැනීමට සමත්ව තිබෙන්නේ ගුවන් සේවා 12ක් පමණි. ශ්‍රීලංකන් කාගෝ විසින් සතුන් භාරගැනීමේ සිට ගොඩබෑම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය පුරාම IATA හි දැඩි රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරයි.
ශ්‍රීලංකන් කාගෝ සතුව සතුන් සඳහාම වෙන්වූ, නිසි උෂ්ණත්ව පාලනය සහිත පහසුකම් පවතින අතර, විශේෂ පුහුණුව ලත් කණ්ඩායම් විසින් සතුන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වේ.
මෙම මස මුලදී, පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ලාහෝර් සිට කොළඹ දක්වා ගවයින් හත් දෙනෙකු සාර්ථකව ප්‍රවාහනය කිරීම සඳහා IATA CEIV Live Animals සහතිකය හිමිකරගත් ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් කාගෝ පහසුකම් සපයන ලදී.
ශ්‍රීලංකන් කාගෝ දැනට මැදපෙරදිග, යුරෝපය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 21ක ගමනාන්ත 33ක් වෙත සෘජුවම සිය සේවාවන් සපයන අතර, සිය ගෝලීය ජාලයන් හරහා ලොව පුරා තවත් නගර සිය ගණනක් වෙත භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සලසමින් පාරිභෝගික අවශ්‍යතා සඳහා විශ්වසනීය විසඳුම් ලබා දෙයි. වැඩි විස්තර සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.





