ICC වෙතින් හෝමාගමට සිව්මහල් නිවාස සංකීර්ණයක්

    June, 19, 2017

    සංවර්ධිත තත්ත්වයට ළඟා වීම සඳහා ශ්‍රී ලාංකේය ආර්ථිකය දක්වන මෙහෙයට අත්වැලක් ලබා දීම සහ මෙරට ජනතාවගේ නිවාස අවශ්‍යතාවල ප්‍රමිතිය නංවාලීම ඉලක්ක කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම යටිතල පහසුකම් සහ බහුවිධ කොන්ත්‍රාත් සමාගමක්වන International Construction Consortium (ICC) නූතන සිව්මහල් නිවාස සංකීර්ණයක් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය.

    'Mount Clifford Range' ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය නිවාස සහ සංවර්ධන අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ 'සැමට සෙවන' නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සහ සංවර්ධන අධිකාරිය සමග එක්ව ICC සමාගම ක්‍රියාත්මක කරයි.

    පරිසර හිතකාමී ලෙස ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ICC සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් වරක් පිළිබිඹු කරමින් මෙම මහල් නිවාස සංකීර්ණය හෝමාගම ප්‍රදේශයේ රමණීය පරිසයක ඉදිවෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ එක් ගොඩනැගිල්ලක නිවාස 16 බැගින්වන ගොඩනැගිලි 43ක් ඉදි වීමට නියමිතය. ඒ අනුව එහි ඇතුළත් සමස්ත නිවාස ඒකක ගණන 688ක් වන අතර එක් නිවාසයක මිල රු. මිලියන 5 ක් වීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

    සෑම නිවසක් ම වර්ග අඩි 640ක භූමි ප්‍රමාණයකින් යුතුවන අතර නිදන කාමර දෙකක්, නාන කාමරයක්, බැල්කනිය සහිත ආලින්දයකින් එය සමන්විතය. මීට අමතරව, නිවැසියන් හට අසමසම ජීවන අත්දැකීමක් පිරිනැමීම සඳහා පිහිනුම් තටාකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, ක්‍රීඩා පිටියක්, ඇවිදීමේ මංතීරුවක් සහ කුඩා වෙළඳ සංකීර්ණයක් මෙන් ම පැය 24 පුරා ආරක්‍ෂිත වටපිටාවක් ද මෙම නිවාස සංකීර්ණය තුළ ස්ථාපනය කර ඇත.

    Mount Clifford Range මහල් නිවාස ව්‍යාපෘතියේ සිට එක් පසෙකින් හෝමාගම නගරයට ද, අනෙක් දෙසින් කහතුඩුව සහ හොරණ නගරවලට ද පහසුවෙන් ළඟා විය හැකිය. එහි සිට කොට්ටාව අධිවේගී මාර්ග ප්‍රවේශයට ඇත්තේ කිලෝ මීටර 4ක දුරක්වන අතර හෝමාගම නගරයට ඇත්තේ කිලෝ මීටර 2කට ද අඩු දුර ප්‍රමාණයකි.

    මෙම ප්‍රදේශය අවට යෝජිත තාක්ෂණ නගරය (Techno City), නැනෝ තාක්ෂණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, NSBM හරිත සරසවිය සහ තවත් යෝජිත විශ්වවිද්‍යාල ද ආදී වැදගත් ආයතන රැසක් ඉදිවෙමින් පවතින බැවින් මෙගාපොලිස් සැලැස්මට සමගාමීව හෝමාගම නගරය මෙරට ප්‍රමුඛත ම අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිතය. මීට සමගාමීව, දැනට අරඹා ඇති මහාමාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති හේතුවෙන් හෝමාගම අනාගත ආයෝජනය සඳහා කදිම තෝතැන්නක්වනු ඇත.

    මෙහි පළමු අදියර 2019 වසරේ දෙවන කාර්තුවේදී ද, දෙවන අදියර 2020 වසරේ දෙවන කාර්තුවේදී ද අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක ගණනක අත්දැකීම් සම්භාරයක හිමිකම් කියන නිවාසී ඩිවලොපර්ස් සමාගම මෙම ව්‍යාපෘතියේ අලෙවි සහකරු ලෙස කටයුතු කරයි.

    රුපියල් මිලියන 5ක් වැනි  දැරිය හැකි මිලකට නිවාස අවශ්‍යතා සපුරා ගැනීමට වෙර දරන ජනතාවට මෙය කදිම ආයෝජන අවස්ථාවක්වන බව නොඅනුමානය. වසර 35කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ICC සමාගම, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගනිමින් නියමිත කාලයට නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කරන සමාගමක් ලෙස මෙරට ජනතාවගේ නොමඳ විශ්වාසය හිමිකරගෙන සිටී.

    ICC1

    ICC3