IIT ආයතනයේ එක්සත් රාජධානියේ රොබර්ට් ගෝඩන් විශ්වවිද්‍යාලයීය ප්‍රථම MSc Big Data Analytics උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වේ

    November, 29, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම මෙරට ප්‍රමුඛත ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන ආයතනයක් ද වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සිය ප්‍රථම එක්සත් රාජධානියේ රොබර්ට් ගෝඩන් විශ්වවිද්‍යාලයීය (RGU) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වීය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී RGU විශ්වවිද්‍යාලයේ Big Data Analytics අංශයේ විද්‍යාපති උපාධිය සාර්ථකව අවසන් කළ සිසුන් හට උපාධි ප්‍රදානය කෙරිණි.; RGU විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ කූපර් මහත්මිය සහ මහාචාර්ය නිර්මලී වීරතුංග මහත්මිය මෙන්ම IIT ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන්, උපාධි අපේක්ෂකයන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. උපාධි ප්‍රදානය කිරීමෙන් අනතුරුව මොහොමඩ් ෂෆීක් මුහමඩ් ෂරික් හට විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් "ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ" රන් පදක්කම පිරිනැමිණි.

    "Big Data Forum for Data Enthusiasts" තේමාව යටතේ මෙහිදී විශේෂ සමුළුවක් ද සංවිධානය කර තිබූ අතර ඒ හරහා මහා දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රවීණයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව සිසුන්ට හිමි විය. RGU විශ්වවිද්‍යාලයේ School of Computing Science & Digital Media හි මහාචාර්ය නිර්මලී වීරතුංග, University of Colombo School of Computing (UCSC) හි ආචාර්ය රුවන් වීරසිංහ සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය දිල්ශාන් සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් එම සාකච්ඡා මණ්ඩලය සමන්විත විය.

    මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කරමින් IIT ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත විජයරත්න මහතා ප්‍රකාශ කළේ, 2016 වසරේදී RGU විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙමින් IIT ආයතනය මහා දත්ත විශ්ලේෂණ සහ ව්‍යාපාර විශ්ලේෂණ යන අංශවල විද්‍යාපති උපාධි පිරිනැමීමට කටයුතු කරන බවය. "IIT ආයතනය ඉතා ඉහළ ඉල්ලුමක් පවතින තාක්ෂණික අංශවල උපාධිධාරීන් බිහි කිරීමට කටයුතු කරනවා. IIT ආයතනයේ විදයාර්ථින්ගේ සහ පරිපාලකයන්ගේ දූරදර්ශී දැක්ම නිසා මහා දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රථම පශ්චාද් උපාධි වැඩසටහන පිරිනැමීමට අපට හැකි වුණා. වර්තමානයේ මහා දත්ත පදනම් සහ ක්‍රියාවලි ලොව වැඩිම අවධානයක් හිමිවී තිබෙන තාක්ෂණික අංශ පහ අතර වනවා. එබැවින් මෙම ක්ෂේත්‍රයේ උපාධි හිමි සිසුන් හට රැකියා වෙළඳපල තුළ විශාල ඉල්ලුමක් ඇතිවන අතර මහා දත්ත ක්‍රියාවලි පවතින ආයතනවල ඔවුන්ට කැපී පෙනෙන භූමිකාවක්‌ ඉටු කිරීමට ද හැකිවනවා"

    "මෙම උපාධි ප්‍රදානෝත්සවය RGU සහ IIT ආයතන දෙක අතර ඇති සබඳතාවේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම ආයතන දෙකම ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව පාඨමාලා පිරිනමන සහ රැකියා ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා ආයතන වන අතර මෙම පාඨමාලාව එම ආයතන දෙකෙහි අධ්‍යයන සහ පර්යේෂණ හැකියාවන් තවත් ශක්තිමත් කිරීමට හේතු වුණා. නිරන්තරයෙන් ඉදිරි දැක්මෙන් යුතුව කටයුතු කරන RGU විශ්වවිද්‍යාලය සිසුන්ගේ වෘත්තීය ගමන්මගේ සාර්ථකත්වය වෙනුවෙන් නිබඳ කැපවනවා. අපගේ පාඨමාලා යාවත්කාලීන කිරීමටත්, ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ඔබින ලෙස පවත්වා ගැනීමටත් අප කටයුතු කරනවා" යනුවෙන් ටෝබර්ට් ගෝඩන් විශ්වවිද්‍යාලයේ (RGU) ප්‍රධානී සහ උප කුලපති මහාචාර්ය ජෝන් හාපර් මහතා ප්‍රකාශ කළේය.

    රොබර්ට් ගෝඩන් විශ්වවිද්‍යාලය සාමාන්‍ය උපාධිවල සිට PhD මට්ටම දක්වා උපාධි පිරිනැමීම සඳහා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් නාමයක් හිමිකර ගෙන සිටින නූතන ඉගෙනුම් පරිසරයක් හිමි විශ්වවිද්‍යාලයකි. ඉගෙනුම් විශිෂ්ටතා ආකෘතිය (TEF) හිමි එම විශ්වවිද්‍යාලය එක්සත් රාජධානියේ විශිෂ්ටත ම ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියක් හිමි විශ්වවිද්‍යාල 20% අතර රැඳෙයි. තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යා හෝ අදාළ ක්ෂේත්‍රවල ගෞරව උපාධියක් හිමි මෘදුකාංග ඉංජිනේරුවරුන් සහ ව්‍යාපාර විශ්ලේෂකයන් වැනි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හට මෙම මහා දත්ත විශ්ලේෂණ විද්‍යාපති උපාධිය සකස් කර ඇත. මෙම පාඨමාලාව හරහා නූතන මහා දත්ත විශ්ලේෂණ (Big Data Analytics), දෘෂ්‍යකරණ (Visualisation) ක්‍රමවේද, පෙළ විශ්ලේෂණ කුසලතා සහ දත්ත විශේෂිත ක්‍රම ලේඛන කුසලතා සහ NoSQL දත්ත ගබඩා ආදී ක්ෂේත්‍ර රැසක අත්දැකීම් සහ දැනුම සිසුන්ට ලබාදෙයි. විධිමත් දත්ත විශ්ලේෂණ සහ සමුද්ධකරණ පද්ධති ගොඩනැගීම සඳහා අවශ්‍ය පර්යේෂණ පුහුණුව සහ තාක්ෂණික කුසලතා පිරිනැමීමට ද එම උපාධි වැඩසටහන කටයුතු කරයි. මෙම වසර දෙකක පාඨමාලාව සඳහා Advance Databases, Big Data Programming, Cloud Computing, Data Analysis, Data Mining, Data Warehousing, Research Methods, Text Analytics සහ MSc ව්‍යාපෘතිය යන අර්ධකාලීන පාඨමාලා ඇතුළත් වේ.

    වර්ෂ 1990 දී පිහිටුවනු ලැබූ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි වැඩසටහන් මෙහයවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සදහා සම්මාන දිනු මෙම විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ University of Westminster සහ Robert Gordon University යනාදී විශ්ව විද්‍යාල හා සම්බන්ධවෙමින් කටයුතු කරයි. ගතවූ වසර 28 ක කාලය තුළ මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින් ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සිදුකර ඇති මෙහෙවර අති මහත් ය. මෙලෙස බිහිවූ උපාධිධාරීන් මේ වනවිට දේශිය හා විදේශිය මෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආදී අංශවල ප්‍රමුඛ වෘත්තිකයින් බවට පත්ව ඇති අතර ඇතැමුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යවසායකයින් බවට පත්ව සිටිති. මේ ආකාරයට මේ වනවිට ලොව පුරා රටවල් 250 කට අධික ආයතන ප්‍රමාණයක් වෙත IITවිසින් උපාධිධාරීන් යොමු කර ඇත.