ikman.lk සහ Booking.com නව සහයෝගීතාවකට මුලපුරයි

    December, 11, 2018

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ikman.lk වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට වැඩි තෝරාගැනීමකට අවස්ථාව සලසාදෙමින්, ලොව දැවැන්තම හෝටල් නවාතැන් වෙන්කරවාගැනීමේ අන්තර්ජාල වෙබ් අඩවිය වන Booking.com සමඟ පසුගියදා නව ව්‍යාපාරික සහයෝගීතාවකට එළැඹුණි.

    ඒ අනුව ikman.lk ගනුදෙනුකරුවන්ට http://hotels.ikman.lk/ වෙත පිවිසීමෙන් දෙස් විදෙස් සවාරි සහ නිවාඩු අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

    මිලදීගැනීම සහ අලෙවිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවිය ලෙස හඳුනාගැනෙන ikman.lk, මේ වන විට Booking.com හා එක් වෙමින් ලොව පුරා සුපිරි හෝටල්, සුවපහසු නාගරික නවාතැන්, බුටික් හෝටල්, එක් රාත්‍රියක් සහ උදෑසන ආහාරය සඳහා පමණක් වූ නවාතැන් ආදී පුළුල් නවාතැන් පහසුකම් රැසක් තම පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර ඇත. ඒ හරහා තමන්ට සරිලන තෝරාගැනීමකට යාමට පාරිභෝගිකයන්ට ඉඩකඩ සැලසේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන පිරිස් සඳහා ikman.lkහි මෙම නව සහයෝගීතාව වැඩි වටිනාකමක් සපයා තිබේ.

    “ikman.lk සහ Booking.com නව සහයෝගීතාව තුළින් අපගේ පාරිභෝගිකයන්ට විශාල වාසියක් සැලසෙනවා. විශේෂයෙන්ම රට තුළ සංචාරයට උනන්දු අය වෙනුවෙන් වැඩි විවිධත්වයකින් පිරුණු නිවාඩුවක් සහ නවාතැන් අත්දැකීමක් වෙනුවෙන් Booking.com සමඟ සමීපව වැඩකටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ikman.lk අලෙවි කළමනාකාර එල්මෝ ෂන්මුගම් මහතා පැවසීය.

    මෙම සුවිශේෂී සහයෝගීතාව හරහා නිවාඩු සහ නවාතැන් අවස්ථා අන්තර්ජාලය හරහා වෙන්කරවාගැනීම වෙනුවෙන් ikman.lk හඳුන්වාදුන් නවතම විශේෂාංගය වන ‘ikman Holidays’ ද සවිබල ගැන්වී තිබේ.

    තම පාරිභෝගිකයන්ට තවදුරටත් ආකර්ෂණීය නිවාඩු අවස්ථාවන් සලසා දෙමින් ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන, බුටික් හෝටල් සහ බංගලා ආදිය සමඟ ද සහයෝගීතා ඇතිකරගැනීමට ikman.lk පියවර ගෙන ඇත. එමගින් ද ikman.lk පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහ වෙනත් වාසි ලබාගැනීමේ හැකියාව පවතී.

    ikman.lk හා Booking.com අතර සහයෝගීතාව තුළින් ikman.lk සපයන සේවාවන් තවත් පුළුල් වෙමින් සියලු අන්තර්ජාල ගනුදෙනු සඳහා එක් වේදිකාවක් බවට පත්වීමේ ඉලක්කය කරා සමීප වීමට ද ඊට අවස්ථාව උදා වී තිබේ.

    වසර හයක තම අති සාර්ථක ව්‍යාපාර මෙහෙයුම පසුගියදා සමරනු ලැබූ ikman.lk තම නිෂ්පාදන කළඹ අඛණ්ඩව වර්ධනය කරගනිමින් සිටී. මෑතකදී නවතම රැකියා අවස්ථා සඳහා අන්තර්ජාල ප්‍රවේශයක් සහ දේපළ අංශයේ නව සංවර්ධන කටයුතු පිළිබඳ අංශයක් හඳුන්වාදීමට ද ikman.lk ක්‍රියාකර තිබුණි.

     

    සේයා රූ විස්තරය ikman.lk මෙහෙයුම් අධ්‍යක්ෂ ෂයිෆ් මොහොමඩ් (මැද) සහ Booking.com  කලාප කළමනාකරු - දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ග්‍රැහැම් ඩාර්සි රයන් යන මහත්වරු අදාළ සහයෝගීතා ගිවිසුම හුවමාරු කරගන්නා අයුරු ඡායාරූපයේ දිස්වේ.  ikman.lk අලෙවි කළමනාකාර එල්මෝ ෂන්මුගම් මහතා ද එහි වේ.