March, 7, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද දින වාර්තා වුණි. පසුගිය දින කිහිපය තුළ දී මෙන් අද දිනයේ දී ද බැංකු සමාගම්වල කොටස් ගනුදෙනු කෙරෙහි ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබුණි. එමෙන්ම ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද අද දින විශේෂත්වයක් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු සියලු කාර්යයන් මේ වන විට සිදුකර අවසන් අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා විය.
සමාගම් 117 ක කොටස් මිල ගණන් අද දින ඉහළ ගිය අතර හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, NDB බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ටී ජේ. ලංකා, ඩිමෝ සහ බුකිට් ඩාරා ඇතුළු සමාගම් 89 ක කොටස් මිල ගණන් අද දින පහළ යන ලදී.
රු. බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ලංකා IOC සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.
මෙහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 209 ක් සහ විදේශීය විකිණුම් රු. මිලියන 390 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව රු. මිලියන 181 ක ශුද්ධ විදේශීය ගලා යාමක් අද දින සටහන් වාර්තා වී තිබේ.
Video Story