IMF යළිත් අපට අනතුරු හඟවයි

    July, 30, 2014

    මෙරට රජය සහ බැංකු විසින් දිනෙන් දිනම විදේශයන්ට ණයවීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි.

    එසේම, අරමුදල පවසා තිබෙන්නේ උද්ධමනය පිළිබඳ සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විදේශීය ණයබර වැඩිවීම පිළිබඳව මූල්‍ය අරමුදල විසින් අනතුරු හැඟවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර කිහිප අවස්ථාවකදීම මේ බව අවධාරණය කළේය.

    රජය විසින් මේ වනවිට මෙරට බැංකු හරහා විදේශීය වෙළඳ පොළින් ණය රැස්කරමින් සිටින අතර පසුගිය කාලයේදී බැංකු කිහිපයක්ම ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කළේය.

    ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවේදී 2009 වසරේදී මූල්‍ය අරමුදල විසින් ලංකාවට ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ලබාදුන් අතර මෙරට ආර්ථිකයට උපදෙස් ලබාදීම දිගටම සිදුකරන ලදී.

    මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ වර්තමාන මුදල් ප්‍රතිපත්තිය යෝග්‍ය බවත් උද්ධමනය අඩු මට්ටමක තබා ගැනීමට එය හේතුවී තිබෙන බවයි.